හිටපු කතානායක දේශමාන්‍ය නීතීඥ බාකීර් මාකාර් මහතාගේ 28වන ගුණ සමරුව අදයි.

0
9

හිටපු කතානායක දේශමාන්‍ය නීතීඥ බාකීර් මාකාර් මහතා මෙලොවින් සමුගත්තේ වර්ෂ 1997 සැප්තැම්බර් මස 10 වන දිනය. එනම් මීට වසර 28 කට පෙරය.

ඒ මහතාගේ ගුණසැමරුම වෙනුවෙන් ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ මුහුණු පොතේ පල කර තිබූ ලිපියකින් උපුටා ගැනීමකි. මෙම ලිපිය ශ්‍ර‍ී ලංකා නීතී විද්‍යාලයේ විදුහල්පති වන ජානාධිපති නීතීඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා විසින් ලියා ඇත.

උපුටා ගැනීම

“මෙම ලිපිය ලිවීමට උත්සුක වූයේ එතුමාත්, එතුමන්ගේ පුත්‍ර‍ නීතීඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාද මා විදුහල්පති වන ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් බිහිවූ ජේෂ්ඨ නීතීඥවරුන් වීම නිසාවෙනි. බාකීර් මාකාර් මහතා මගේ පියාවන දිවංගත ජනාධිපති නීතීඥ ඩන්ස්ටන් ද අල්විස් මහතාගේ සමකාලීන මිත්‍ර‍්‍ර‍්‍රයෙකුවීමද, ඉම්තියාස් අයියා ආනන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ලෙස, බුදුදහමේ පාඨ පවා පාවිච්චි කරමින් ව්‍යක්ත ලෙස කථා කිරීම ශිෂ්‍යයෙකු ලෙස බලා සිටිමින්, නීතීඥවරයෙකු ලෙස අධ්‍යාපනය ලැබීමට අභිප්‍රේරණය ලැබූ පුද්ගලයෙකු වීම මෙලෙස ලිපියක් ලිවීමට හේතු සාධක විය.
මෙම ලිපියෙන් කතුවරයා උත්සාහ කරන්නේ බාකීර් මාකාර් මහතාගේ ජීවිතය ඇසුරින් වර්තමානයේ වෙනසක් බලාපොාරොත්තුවන්නන්ට අවැසි ප්‍ර‍තිපත්ති සකස් කිරීමට මගපෙන්වීමක් ලබාගැනීමටයි.

බාකීර් මාකාර් මහතාගේද, ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේද දේශපාලනය සහ ජීවිත සැකැස්ම මුදල් මත පදනම් නොවුනු අතර, සැමවිටම ප්‍ර‍තිපත්තිගරුක දේශපාලනයේ නිරත විය. ඔවුන් දේශපාලනයේ යෙදුනේ ප්‍ර‍තිපත්ත මත විය. මුදල් තනතුරු මත නොවුණු බැවින් එකම පක්ෂයක සිටි අතර, තවදුරටත් ඇමතිකම් සේම පක්ෂයක තවදුරටත් නොසිටීමට වාතාවරණය වූ විට “හෘද සාක්ෂියට” අවනතව ඉල්ලා අස්ව නිහඩ බව රැක්කේය.

මුදලට සහ තනතුරු සදහා පක්ෂ මාරුකරන්නන් වර්තමානයේ දක්නට ලැබෙන අතර මෙම පුරෂාර්ථ හිමි මොවුන් දෙදෙනා නව වෙනසක් සොයනා අපට මගපෙන්වීමක් කරයි.

මෙලෙස කොතරම් බලපෑම් සහිත සාධක තිබුණද දැඩි ප්‍ර‍තිපත්ති මත සිටගන්නට බලපානුයේ, ඔවුන්ගේ ළමා කාලයේ පවුලෙන් ලැබෙන බලපෑමද, අධ්‍යාපනය ලබන පාසැලෙන් ලැබෙන මගපෙන්වීමද බව අවිවාදිතය. බාකීර් මාකාර් මහතා උපත ලබා ළමා කාලය ගෙවුයේ බේරුවල මරදානේ “හකීම් විලා” එනම් වෙදගෙදරය. බේරුවල පරිසරය වෙළද සහ ව්‍යාපාර පසුබිමක වුවත්, බාකීර් මාකාර් මහතාගේ සීයාද, පියා වන මොහොමඩ් මරික්කාර් මහතාද දේශීය වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් සිදුකරන ලද්දේ මහජනයාගේ රෝ බිය නැතිකිරීමට උත්තුංග කාර්යයයි. 1917 මැයි මස 12 වන දින උපත ලැබූ බාකීර් මාකාර් දරුවා සිය මව රාහිලා උම්මා මහත්මියගේ ආදරබර සෙනෙහස ලබමින් ළමාවියට උරුම කුතුහලය, දගකාරබව, ස්වභාවික පරිසරය සමග තම ජීවිතයට පදනම සකස් කර ගත්තේය. රාමසාන් කාලය අවසන් වන්නේ නව සද බැලීමෙනි. දිනක් කුඩා බාකීර් මාකාර් දරුවා රාත්‍රියේ නිවසේ නොමැති බව සෙවූ පියාට ඔහු හමුවූයේ මුහුදු වෙරළේ සද බැලීමට ගොස් සිටියදීය. ඕනෑම පුද්ගලයෙකු තම ජීවිත වටිනාකම් පෞරුෂය ගොඩනැගීම සිදුවන්නේ ළමා වියේදී බව බාකීර් මාකාර් ජීවිතයෙන් මනාවට තහවුරු වේ. වර්තමානයේ ලමාවියක් ගොඩනැගිය යුත්තේ කෙසේද? යන්නට මනා මගපෙන්වීමක් ඔහුගේ ජීවිතයෙන් අපට උකහාගත හැකිය.

ළමාවිය ඉක්මවා දරුවෙකුට අධ්‍යාපනය ලැබීම ඉතා වැදගත්ය. මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම ගැටළුවක් වූ කාලයක ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම මුස්ලිම් කාන්තා විද්‍යාලය බේරුවල බිහිකළේ බාකීර් මාකාර් මහතාගේ පියා සමග පවුලේ අනිකුත් සහෝදරයින් සහ ගමේ ප්‍ර‍භූවරුන්ය. කුඩා බාකීර් මාකාර් මුලින්ම එහි අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පිළිවෙලින් කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේද, පසුව කොළඹ සාහිරා විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබීය. මෙලෙස ක්‍ර‍මානුකූලව අධ්‍යාපනය ගොඩ නැගූ බාකීර් මාකාර් තම දරුවන් යැවුයේ සාමාන්‍ය සෑම ජාතියකම ආගමකම දරුවන් ඉගෙනගන්නා පාසැල්වලටය.ඉම්තියාස් යැවූයේ ප්‍ර‍ධාන බෞද්ධ පාසැල වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලැබීමටයි. අනික් දරුවන් මිලාගිරිය ශාන්ත පාවුලු, කොළඹ රාජකීය සහ කොළඹ බිෂොප් විද්‍යාලවල අධ්‍යාපනය ලැබූහ.

බේරුවලදී දෙමළ භාෂාවට සීමා වූ බාකීර් මාකාර් කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගනිමින්, කියවීම ප්‍ර‍ධාන කොටගත් හෙයින් “සිසු පුස්තකාලාධිපති” යන ධූරයද, ප්‍ර‍ධාන ශිෂ්‍ය නායක ධූරයද ලබා ගත්තේය. කොළඹ සහිරා විද්‍යාලයේදී මජිලිස් හෙවත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායක පදවිය දරමින් ඉදිරි ජීවිතයේ මග සලකුණු පෙන්වන ලදි. සිංහල, දෙමළ සාහිත්‍ය සංගම්වල සභාපති ධූරය දරමින් නායකත්වය පිළිබද පන්නරය ලබාගන්නා ලදි. මෙම ජීවිතයෙන් උකහාගත හැකි කරුණ වන්නේ තම පාසැල් දිවිය පුද්ගලයෙකුගේ ජීවිතය හැඩගස්වා ගැනීමට මහෝපකාරී වන්නේ කෙසේද? යන්නට හදවතේ භාෂාව වන මවුබස, දැනුම දෙන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව ද, මිතුදමේ බස වන සහෝදර භාෂාවක් ඉගෙනගැන්මේ වැදගත් කමයි.

තරුණ ජීවිතයේදී වෘත්තියක් තෝරාගැනීමේදී එයට අදාල අධ්‍යාපනය ලැබීමේදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍ර‍ධාන ගැටළුවක් වන්නේ එයට අවැසි ආර්ථිකයක් නොමැතිවීමයි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළු වූ බාකීර් මාකාර් තරුණයාට අවශ්‍ය මුදල් ලබාදීමට දේශීය වෛද්‍යවරයෙකු වූ තම පියාට අපහසු වූ විට තරුණ බාකීර් මාකාර් පිළියම් සෙවූයේ රාත්‍රී කාලයේ සිසුන්ට අමතර උගන්වා මුදල් සොයාගැනීමය. මෙම ක්‍රියාදාමය ශ්‍රී ලංකා තාරුණ්‍යට මනා මග පෙන්වීමක් පෙන්වන්නේ අධෛර්ය නොවී විකල්ප සොයමින් කටයුතු කිරීමෙන් ජීවිතය ජයගැනීමට හැකි බවයි.

බාකීර් මාකාර් මහතා නීති ශිෂ්‍යයෙකුව සිටි අවදියේදී දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරඹීම හේතුවෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇණ හිටිණ. එම කාලයේදී ශ්‍රී ලංකාවේ ගුවන් ආක්ෂක කටයුතු සදහා එක්ව තම වටිනා ජීවිතය සහ කාලය ඒ සදහා වෙන් කළ අතර එම කාලයේදී ගුවන් ආරක්ෂක කටයුතු පිළිබද විශේෂ පුහුණුවකට තෝරාගනු ලැබ හියාද්‍රාබාදයට ඔහු යවනු ලැබිණ.
දේශපාලනය යනු මිනිසුන් සමග ජීවත් වෙමින් ඔවුන්ගේ හිත දිනාගනිමින්, තම ප්‍ර‍තිපත්තීන් සකස් කර ගනිමින් ක්‍ර‍ම ක්‍ර‍මයෙන් ඉහලට යා යුතු ක්‍ර‍මවේදයකි. බේරුවල නගර සභාවේ සභිකයෙකු ලෙස පත්වෙමින් , එහි නගරාධිපති ලෙස සහ බේරුවල බහු මන්ත්‍රී ආසනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී, ඉන් අනතුරුව අමාත්‍ය ධූර දරමින් අවසානයේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ කථානායක ලෙස සියළුම පක්ෂවල එකගතාවයෙන් නිතරගයෙන් තේරී පත්විණි. මෙම යෝජනාව ගෙන ආ නල්ලූර් ආසනයේ මන්ත්‍රී සිවසිදම්බරම් මහතා තම කථාවේ සදහන් කළේ භාෂා ත්‍රිිත්වයම සතු දැනුම නිසා සියළුම මන්ත්‍රීවරුන්ගේ අදහස්, හැගීම් හදුනාගැනීමට බාකීර් මාකාර් මහතාට හැකියාවක් ඇතිවන බවයි.

චාල්ස් ඩයනා විවාහය සදහා ශ්‍රී ලංකවේ ජනාධිපති සහ අගමැති එයට සහභාගී වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි. එතුමා ප්‍ර‍ධාන සක්‍රීය දෙශපාලනයෙන් ඉවත් වූ පසුව ගෞරවනීය දකුණු පළාතේ ආණ්ඩුකාරවර ධූරයද හොබවනු ලැබීය. ඉම්තියාස් පවා මෙම ආදර්ශය අනුව යමින් දේශපාලන ජීවිතය ඇරඹුයේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ලෙස අරඹා අමාත්‍ය ධූර, පක්ෂ සභාපති දක්වා ක්‍ර‍ම ක්‍ර‍මයෙන් පන්නරයක් ලබාගනිමිනි. වර්තමානයේ දක්නට ලැබෙන පැරෂුට් දේශපාලනයෙන් පැමිණි ඕපපාතිකයන් ක්ෂණික දේශපාලන භූමිකාවේ ඉහල තනතුරු ලබාගැනීමට උත්සුක වූ දේශපාලනාධිකාරීන්ය. ඔවුන්ගේ වර්තමාන ඉරණම දෙස බැලීමේදී, දේශපාලන ජීවිතයන් ගොඩනැගිය යුතු ආකාරයට ආදර්ශ සපයයි. 63%ක් සිංහල ජනතාව ජීවත් වූ බේරුවල බහු ආසනයේ සිංහල අපේක්ෂකයාට වඩා වැඩි චන්ද 27000ක් ලබා පාර්ලිමේන්තුවට පත්වීමෙන් බාකීර් මාකාර් මහතා සිය දේශපාලන ජීවිතයේ සාර්ථකත්වය, සහ ක්‍ර‍මවේදය පිළිබද මනා මගපෙන්වීමක් ලබාදෙයි.

භාෂාව ශ්‍රී ලංකවේ දේශපලනයේ සහ සංස්කෘතිය තුල ප්‍ර‍ධාන තීරණාත්මක, සංවේදී මාතෘකාවකි. කුඩා කාලයේදී දෙමළ භාෂාව පමණක් දන්නා බාකීර් මාකාර් පසුව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පෝෂණය වීම මේ සම්බන්ධයෙන් වැදගත්ම මගපෙන්වීමක් අපට පෙන්වා දෙයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතු බවට හඩ නැගූ බාකීර් මාකාර් “යේන් සිංහලම්” එනම් “ඇයි අපිට සිංහල?” නම් කුඩා පොත් පිංචක් තම වියදමින් මුද්‍ර‍නය කරවා ද්‍ර‍විඩ භාෂාව කතාකරන පුද්ගලයන් අතර බෙදාහැරීමට කටයුතු කලා පමණක් නොව ඉන් නොනවැතී සිංහල ප්‍ර‍ජාව අතරද දෙමළ භාෂාවෙ ඉගෙනීමේ වැදගත්කම පිළිබදව දේශන පැවැත්වි. මා බෞද්ධයෙකු වුවද කිසිදිනක බෞද්ධ දර්ශනය ඇතුලත් වන පාලි භාෂාව හැදෑරීමට උත්සාහ කොට නොමැත. එහෙත් බාකීර් මාකාර් මහතා බුදුදහම හැදෑරීමට ඇතිවූ ආශාව නිසා පූජ්‍ය හීනටියන්ගල රේවත හිමි සමීපයේ සිට පාලි භාෂාව පිළිබද හැදෑරීම කල අතර කොළඹ සාහිරා විද්‍යලයේ ශිෂ්‍යයෙකුව සිටි අවධියේ ලතින් භාෂාව හදාරන ලදි. නීති පාඨ බොහෝමයක් ඇත්තේ ලතින් භාෂාවෙන් නිසා පසුව නීති විද්‍යලයේ නීතිය හැදෑරීමේ දී එය වැදගත් වූවාට නිසැකය. මේ අනුව එතුමාගේ ජීවිතයේ භාෂාව ඉගෙනීමේ වැදැගත්කම හොදින්ම තහවුරු කරයි.

සාර්ථක පොදු ජීවිතයක් තබාගැනීමට නම් තම පවුල් කුටුම්බය සාමකාමී, එකිනෙකාට ගෞරව කරනා එකක් විය යුතුය. බාකීර් මාකාර් මහතාගේ සහ ඉම්තියාස් මහතාගේ ජීවිත වලින් ගත හැකි වැදගත්ම පාඩම වන්නේ, විශ්වාසවන්ත, සතුට, පදනම වන පවුල් ජීවිතය දේශපාලනය පමණක් නොව ජීවිතය සාර්ථක වීමටද කාර්යක්ෂම වීමටද ඉතා වැදගත් බවයි.
ශ්‍රී ලංකාව දැන් සිටින්නේ හැරවුම් ලක්ෂයකය. මිනිස් වටිනාකම් නැවත උද්දීපනය කල යුතුය. මුදල් නොව ප්‍ර‍තිපත්තිගරුක වීම, දේශපාලනය නොව වෘත්තීය ජීවිතය ගොඩනැගීම තාවකාලික නොව වඩාත් ස්ථීරසාර බවය. තම ජාතිය, ආගම පෝෂණය කිරීම තම යුතුකමය. එහෙත් ජාතිවාදී ආගම්වාදී නොවන ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම විවිධ අරගලවලින් තම ජීවිතය පවා කැපකළ තරුණ තරුණියන් අපෙන් ඉල්ලා සිටී. කොතරම් ආර්ථික අපහසුතා තිබුණද, විකල්ප ආර්ථික මාර්ග සොයමින් අධ්‍යාපනය සහ තම කුසලතා වර්ධන කිරීමට අප තරුණයින්ට හැකිය. මේ සියල්ල සදහා පූර්වාදර්ශයක් දේශමාන්‍ය නීතීඥ බාකීර් මාකාර් මහතාගේ ජීවිතයෙන් අපට උකහාගත හැකිය. එය සර්වකාලීනය.

උපුටා ගැනීම අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here