ට්‍රම්ප්ගේ බද්ද හලාල් කර්මාන්තයට කෙසේ බලපායිද?

0
19

NEWSNOW | – දවසක් උදෑසනක අවදි වී බලන විට ඔබගේ ප්‍රියතම හලාල් කුකුළු මස්වල මිල පෙර තිබුනාට වඩා දෙගුණයක් වී ඇති බව දුටුවොත් ඔබට කුමක් සිතේවිද? එමෙන්ම, ඔබ නිතර යන සුපිරි වෙළඳසැළේ රාක්කද අඩක් හිස් වී ඇති ආකාරය ටුදුවොත් හා ඒ ගැන විමසු විට නව තීරුබදු පැනවීමක් ගැන ඔබට අසන්නට ලැබුනොත්?

ලොව පුරා බොහෝ රටවල පාරිභොගිකයන්ට මෙම තත්වයද දන් උදා වී ඇත.

2025 අප්‍රේල් 2 වන දින, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලොව රටවල් ගණනාවකටම ඔවුන් එක්සත් ජනපදයට එවන භාණ්ඩ සඳහා 10% ක මූලික බද්දක් සහිතව 50 % දක්වා තීරු බදු පැනවුයේය. මෙම රටවල් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්වලට විශාල බදු අනුපාත නියම කරන බවත් එනමුත් එක්සත් ජනපදය එම රටවලින් ගෙන්වන භාණ්ඩවලට මේ දක්වා අය කළේ සුළු බදු ප්‍රතිශත බවත් ට්‍රම්ප් පෙන්වා දෙමින් සිය පියවර සාධාරණීකරණය කරයි. ඔහුගේ කථාව වැරදිසහගත නොවේ.

halal food exporting opportunities | EDC

 

විවිධ රටවල වෙළඳ ප්‍රතිපත්ති නිතර වෙනස් වු බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ට්‍රම්ප්ගේ මෙම හදිසි පියවර ලොව පුරා භූ කම්පනයක් ඇති වුවා සේ සෑම රටකම පාහේ බලපෑමක් ඇති කර තිබේ. මෙය ආර්ථිකය හා බැඳි අර්බුදයක් පමණක් නොව සංස්කෘතිය, ඇදහිල්ල සහ ඔබේ මේසය මත ඇති ආහාර සම්බන්ධ අර්බුදයක් බවටද පත්ව ඇත. දැන් ට්‍රම්ප්ගේ මෙම දරුණු ප්‍රතිපත්තියට අනෙක් රටවල් ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේදැයි අපි බලමු.

ගෝලීය වශයෙන් පවතින හලාල් කර්මාන්තයේ අගය ඩොලර් ට්‍රිලියන 2 කට වඩා අධිකය (මෙය ලංකා රුපියල්වලින් කියනවා ට්‍රිලියන 600 කට වැඩිය) හලාල් යනු ඉස්ලාමීය ආහාර සහ සදාචාරාත්මක නිර්දේශවලට අනුකූල වන නීති මාලාවක් වන අතර හලාල් ක්‍ෂේත්‍රයට ආහාර පාන සේම රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුලු නිෂ්පාදන සිය ගණනක් ඇතුලත් වෙයි. හලාල් පරිභෝජනය මුස්ලිම්වරුන්ට විකල්පයක් නොව අනිවාර්ය නිර්දේශයකි. හලාල් සංකල්පය අවධාරණය කරන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු දේ පමණක් ගත යුතු බව හා හානිකර දේ නොගත යුතු බවයි. හලාල් සංකල්පයේ මුලික යොමුව වටහා සිටින නැණවත් මුස්ලිම් නොවන්නන්ද වර්තමානයෙහි හලාල් නිෂ්පාදනම ඉල්ලා සිටින හෙයින් හලාල් වෙළඳපළ වඩාත් පුළුල් ක්‍ෂේත්‍රයක් බවට පත්ව තිබේ.

Halal | Definition, Meaning, Food, Haram, & Meat | Britannica

නමුත් ට්‍රම්ප්ගේ තීරුබදු මෙම ක්‍ෂේත්‍රයට දැඩි තර්ජනයක් එල්ල කර ඇත. මැලේසියාව, පකිස්තානය ඇතුලු රටවල් ගණනාවක්ම හලාල් හරක් මස් කුකුළු මස් ඇතුලු මාංශ නිපැයුම් එක්සත් ජනපදයට අපනයනය කිරීමෙහි දැන් අර්බුදයට මුහුණ පා සිටින අතර මෙනිසා අදාල වෙනත් ක්‍ෂේත්‍රවලටද වක්‍රව බලපෑම් ඇති විය හැකිය.

නමුත් මෙය ලෝක විනාශයක් යැයි බිය විය යුතු නැත. මේ සඳහා ගත හැකි නැණවත් ප්‍රතික්‍රියාමර්ග කිහිපයක් ඇත. නිසි පියවර ගතහොත් මෙම අභියෝගය ජය ගැනීමට පමණක් නොව හලාල් කර්මාන්තය වඩාත් හොඳින් ප්‍රවර්ධනය කර ගන්නටද හැකි වනු ඇත.

පළමුව තීරුබදු යනු කුමක්ද සහ ඒවා හලාල් ක්‍ෂේත්‍රයට බලපාන්නේ කෙසේදැයි බලමු. තීරුබදු යනු ගෝලීය වෙළඳ අධිවේගී මාර්ගයේ ගාස්තු අය කරන කුටියක් වැනිය. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක් ආනයනික භාණ්ඩ සඳහා 10% ක බද්දක් පැනවූ විට මැලේසියාව පකිස්තානය වැනි රටවල් එවන එම නිෂ්පාදනවල මිල එයට සාපේක්‍ෂව අරමරිකානු වෙළඳසැල්වල ඉහළ යනු ඇත. එය වක්‍රව ගෙවන්නේ පාරිභෝගිකයාය. චීනය, වියට්නාමය වැනි රටවලට පිළිවෙල්න් 35 % 45 % දක්වා ට්‍රම්ප් බදු පනවා ඇති අතර ට්‍රම්ප් තර්ක කරන්නේ දශක ගණනාවක්ම මෙම රටවල් එක්සත් ජනපදයේ අඩු ආනයන බදු ප්‍රතිපත්තියෙන් අයුතු ප‘්‍රයෝජන ලබමින් ඇමරිකාව ගොනාට අන්දමින් සිටි බවයි. අඩු මිලට විදේශවලින් භාණ්ඩ එන නිසා ඇමරිකාවේ කර්මාන්තශාලා වැසී ගොස් විරැකියාවද ඉහළ ගොස් ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙයි. එනමුත් බොහෝ කලක සිට අඩු මිල විදේශ භාණ්ඩ මත එක්සත් ජනපදය රඳා පවතින හෙයින් දැන් හදිසියේ ආනයන බදු වැඩි කිරීම නිසා එම රටවලට රිදවනවාට වඩා රිදුම් ලබන්නේ ඇමරිකානු පාරිභෝගිකයන් බව ආර්ථික විද්‍යාඥයින් ඇතුළු විචාරකයින් පෙන්වා දෙති. මන්ද හිතූ සැනින් ආනයන කරමින් සිටි භාණ්ඩ හෝ බෝග නවතා දමා ඒවා එක්සත් ජනපදයේ එක රැයින්ම නිෂ්පාදනය කරන්නට නොහැකි හෙයිනි. එපමණක් නොව මෙය වෙළඳ යුද්ධයකටද මුල පුරනු ඇත යැයිද විචාරකයන් අනතුරු අගවති.

ට්‍රම්ප්ගේ බදු ප්‍රහාරය ලොව බොහෝ රටවල විවිධ නිෂ්පාදනවලට අර්බුදයක් බවට පත්ව ඇති නමුත් හලාල් කර්මාන්තයට වැදී ඇති පහර සුවිශේෂී වෙයි. පසුගිය වසරේ එක්සත් ජනපදයට ඩොලර් බිලියන 12 ක් වටිනා හලාල් නිෂ්පාදන එවු ලොව හලාල් බලකොටුවක් වන මැලේසියාව සහ පකිස්තානය වැනි රටවල් ගනිමු. එක්සත් ජනපදයේ හලාල් පරිභෝජකයන් මිලියන 3 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර මෙම රටවලින් එන නිෂ්පදානවලට පැනවෙන අධික වන බද්ද ඇමරිකානු හලාල් පරිභෝජකයන්ට දැඩි පහරක් වනු ඇත. වැඩි වන තීරු බද්ද නිසා එම රටවල හලාල් ක්‍ෂේත්‍රය මුළුමනින්ම විනාශ නොවුවද ඔවුන්ගේ ලාබ ප්‍රතිශතය අප්‍රායෝගික ලෙසින් පහළ දමනු නියතය. පෙරලා මෙම රටවල්ද එක්සත් ජනපදයෙන් එන යන්ත්‍රෝපකරණවලටද අධික ආනයන බදු නියම කළහොත් එම යන්ත්‍රෝපකරණවල රඳා සිටින මැලේසියාව පකිස්තානය වැනි රටවල කර්මාන්තවල පිරිවැයද වැඩි වී ඔවුන්ව තවත් අසීරුතාවලට පත් කළ හැකිය.

දැන් මෙම රටවල් කළ යුත්තේ කුමක්ද? පළමුව, කලබල වීම හදිසි පියවරවලට තුඩු දිය හැකි නිසා ඔවුන් සන්සුන්ව සිට හානිය තක්සේරු කළ යුතුය. සැලැස්මක් නොමැතිව -පෙරලා එක්සත් ජනපදයෙන් එන භාණ්ඩවලට අධික තීරු බදු පැනවීම වැනි- ක්‍රියාමාර්ගවලට නොයා යුතුය. මන්ද එය අතේ පත්තු විය හැකි හෙයිනි. චීනය දැනටමත් විවිධ පියවර ගෙන ඇති අතර 2025 අප්‍රේල් 10 වන දින සිට ඇමරිකානු ආනයන සඳහා 34% ක තීරුබද්දක්ද ප්‍රකාශයට පත් කර ඇත. එය නිර්භීත පියවරක් වන අතර චීනය වැනි ගෝලී ආර්ථික හා නිෂ්පාදන පතාකයෙකු වන චීනයට එසේ කළ හැකිය.

එක්සත් ජනපදය ඇතුලු ලොව රටවල් විශාල සංඛ්‍යාවකට අද චීනයේ නිෂ්පාදන නැතිවම බැරිය. දේශ සීමා අසල චීනය සමග දිනපතා සටන් වදිමින් සිටින ඉන්දියාව පවා අනෙක් දොරටුවෙන් චීනයෙන් භාණ්ඩ ආනයනය කරමින් සිටියි. 2024 වසරෙහි ඉන්දියාව චීනයෙන් ආනයනය කළ නිෂ්පාදනවල අගය ඇමරිකානු ඩොලර් බිලියන 130 ක පමණ වෙයි. ජපානය සහ සිංගප්පූරුව වැනි අනෙකුත් රටවල් සන්සුන්ව කටයුතු කරමින් පියවර ගැනීමට පෙර බලපෑම අධ්‍යයනය කරමින් සිටිති. හලාල් ආර්ථික සහිත රටවල්ද එසේම නැණවත් ලෙසින් කටයුතු කළ යුතුය. වර්ධනය වීමට නව ක්‍රම සොයා ගනිමින් ඔවුන්ගේ කර්මාන්ත ආරක්ෂා කිරීමට සැලසුම් නිර්මාණය කළ යුතුය.

එක් විකල්පයක් වන්නේ දේශීය වෙළෙඳපොළවල ඉල්ලුම වැඩි දියුණු කිරීමයි. නිදසුනකට, ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සහිත රට වන ඉන්දුනීසියාව මෙන්ම තුර්කිය වැනි රටවලට මේ සඳහා වන විභවතාවය ඇත. ඉන්දුනීසියාවේ හලාල් ආහාර අංශය දැනටමත් වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, ඉන්දුෆුඩ් වැනි දේශීය වෙළඳ නාම නූඩ්ල්ස් සිට ෂෝට් ඊට්ස් කෑම දක්වා සියල්ල නිෂ්පාදනය කරයි. දේශීය ඉල්ලුම වැඩි කිරීමෙන් ඇමරිකාවට අපනයනය කරන්නට නොහැකි වීම නිසා ඇති වන බලපෑම මඳක් අඩු කර ගත හැකිය.

එනමුත් එය ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුම නොවේ, 2008 ලොව පුරා ඇති වුනු ආර්ථික මන්දඝාමී සමයෙහි අපනයන ආදායම පහත වැටුනු විට මැලේසියාව එහි දේශීය හලාල් වෙළඳපොළ ප්‍රවර්ධනය කරන තත්වය මඳක් සමනය කර ගත ආකාරය මේ සඳහා වන එක් නිදසුනකි.

තවත් උපාය මාර්ගයක් වන්නේ අපගෙන් භාණ්ඩ මිලට ගන්නා වෙනත් රටවල් සොයා ගැනීමයි. මැදපෙරදිග යනු හලාල් භාණ්ඩ සඳහා රන් ආකරයක් වැනිය. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වාර්ෂිකව බිලියන ගණනක හලාල් නිෂ්පාදන ආනයනය කරන නිසා හලාල් ආහාර නිෂ්පාදනය කරන රටවලට මැද දිග රටවලට අපනයනය කරන්නට සහ කරමින් සිටින අපනයන වැඩි කරන්නට කටයුතු කළ හැකිය.

Halal food market poised for growth driven by international partnerships, localised production and regulatory standards

එසේම ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු යුරෝපයේ රටවලද හලාල් පරිභෝකයන් විශාල සංඛ්‍යාවලින් සිටින හෙයින් එම රටවල හලාල් වෙළඳපළට පිවිසෙන්නට උත්සාහ කළ හැකිය. 2000 ගණන්වල මුල් භාගයේදී එක්සත් ජනපදය විසින් තුර්කියට අපනයන රෙගුලාසි දැඩි කළ විට තුර්කිය වෙනත් ගැණුම්කරුවන් සොයා ගත් අතර වසර පහකින් එක්සත් ජනපදයට සිදු කළ අපනයනට වඩා තුන් ගුණයක් සිය නිෂ්පාදන අපනයනය කරන්නට තුර්කියට හැකි විය. එක්සත් ජනපදය යනු ලොව එක් රටක් පමණක් බවත් සොයා ගන්නට විකල්ප රටවල් ලොව බොහෝ ඇති බවදත් අප අමතක නොකළ යුතුය. 2018 වසරවල මැලේසියාය විසින් එක්සත් ජනපදයට අපනයනය කරමින් සිටි වානේ සහ ඇලුමීනම්වලට තීරු බදු වැඩි කළ විට මැලේසියාව කළේ ඒ සඳහා ASEAN රටවල් වන තායිලන්තය ඉන්දුනීෂියාව වැනි අළුත් ගැණුම්කරුවන් සොයා ගැනීමයි.

එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීම තවත් පියවරක් වන නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින වියරු මානසිකත්වය අනුව බලන කල එය පහසු කාරිකයක් වන්නේ නැත. එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩවලට ඇති බදු රීති ලිහිල් කිරීම එක් මගක් වෙයි. චීනය ප්‍රතික්‍ෂේප කර ඇති, එක්සත් ජනපදයේ සෝයා බෝංචි මෙන්ම තාක්‍ෂණික නිෂ්පාදන වැඩියෙන් ආනයනය කිරීමට එකග වීමෙන් මැලේසියාව තරමක් ලිහිලක් එක්සත් ජනපදයෙන් ලබා ගෙන ඇත. මෙයට පෙර වාරයේ ට්‍රම්ප් තනතුරෙහි සිටි විට මෙවන් මුලෝපායක් මගින් ඉන්දියාවද යම් සහනයක් ලබා ගත්තේය. ට්‍රම්ප් කුමන චණ්ඩිකම් පෙන්වුවත් එක්සත් ජනපදයට වෙනත් රටවලින් අනාවාර්්‍යයෙන්ම අවශ්‍ය වන නිෂ්පාදනද බොහෝ තිබෙන බව අමතක නොකළ යුතුය. ට්‍රම්ප්ගේ මැත දෙඩීම් ඉදිරියේ චීනය නිර්භිතව සිටින්නේ චීනයේ නිෂ්පාදනය කරන බොහෝ දේ එක්සත් ජනපදයට අත්‍යවශය හෙයින් හා එම නිෂ්පාදන චීනය ලබා දෙන පහසු මිලවලට සහ දැවැන්ත ප්‍රමාණවලින් ලබා දිය හැකි අන් රටක් ලොව නැති නිසාය. චීනයට චණ්ඩිකම් පෙන්වන්නට ගිය ට්‍රම්ප් දැන් ගලේ ටොයිලට් ගිය පිස්සු පුසෙකු මෙන් කලබල වී සිටියි.

තවත් ක්‍රමයක් වන්නේ උපායමාර්ගී පියවරයි. ට්‍රම්ප් විසින් වැඩි තීරු බදු පනවා නොමැති රටවලට භාණ්ඩ අපයනය කර එහි සිට එක්සත් ජනපදයට ඒවා යැවීම එක් ක්‍රමයකි. මෙම සෙල්ලම වැඩි කල් කරන්නට ඉඩ නොලැබෙන නමුත් මඳ කලකට හෝ සහනයක් මෙයින් ලැබිය හැකිය. එසේම ට්‍රම්ප්ගේ බදු රීතිවලට අසු නොවන කාණ්ඩ යටතේ යැවිය හැකි හලාල් නිෂ්පාදන ගැන සොයා බැලිය යුතුය. නිදසුනකට සිංගප්පුරුවේ ප්‍රකට හලාල් නිෂ්පාදකයෙකු වන ෂියොක් මීට් පැසිරුම් කළිකෘතිම’ හලාල් මාංශ නිෂ්පාදනය කර ඒවා එක්සත් ජනපදයට පටවන්නට කටයුතු කරමින් සිටියි. මෙම කාණ්ඩය ට්‍රම්ප්ගේ බදුවලට යටත් නොවේ.

හොඳයි. දැන් ට්‍රම්ප්ගේ මේ ගම්පෙරළි නිසා එක්සත් ජනපදයේ සිටින හලාල් පරිභෝගිකයන්ගේ තත්වය කුමක් වනු ඇතිද? හලාල් ආනයනය අඩු කළොත් හෝ මුළුමනින්ම නතර කළොත්, ඇමරිකානු මුස්ලිම්වරුන්ට සහ හලාල් පරිභෝජකයන්ට විකල්ප තිබෙන බවක් නොපෙනේ. මිඩමාර් හෝ ක්‍රෙසන්ට් ෆුඩ්ස් වැනි දේශීය හලාල් නිෂ්පාදකයින් වැඩි විය හැකි නමුත්, මිල අඩු මට්ටමක තබා ගැනීම සඳහා ඔවුන්ට ලාභදායී යෙදවුම් අවශ්‍ය වනු ඇත. දැන් තීරු බද්ද 26 % වී ඇති ඉන්දීය ආනයනික කුළුබඩුවල මිල අධික බව නිසා දේශිය නිෂ්පාදකයන්ට අසීරුතා ඇති විය හැකිය.

Lalbagh Halal Foods Store – Chrisp Street Market

එමෙන්ම හලාල් ආාහර ගැනීම ආගමික නිර්දේශයක් වන නිසා මේ සඳහා තමන්ට විසඳුමක් ලබා දෙන මෙන් ට්‍රම්ප් රජයට බලකරනන්ට හලාල් පරිභෝජකයන් කටයුතු කළ හැකිය. ආගමික නිර්දේශවලට අවනත වීම යනු ට්‍රම්ප් පවා ගරු කළ යුතු ව්‍යවස්ථාමය කටයුත්තකි.ි90 දශකයේ හලාල් ක්‍රමයට සතුන් මැරීමට ප්‍රශ්න ඇති වුව විට හලාල් සංවිධාන එයට විරුද්ධව සටන් කර රජයේ අනුමැතිය ලබා ගත්තේ මෙම පදනම මතය.

ප්‍රතිප්‍රහාර එල්ල කිරීම තවත් මුලෝපායකි. චීනය එය මනා ලෙස හසුරවනු දැකිය හැකිය. එක්සත් ජනපදයෙන් චීනයට ගෙන්වන සෝයා බෝංජි, ගව උෘරු කුකුල් මාංශ ආදිය සඳහා වන තීරු බද්ද චීදනයද ඉහළ දැමීම නිසා ඩොලර් බිලියන ගණනාවක ඇණවුම් චීන ආනයනකරුවන් විසින් අවලංගු කරනු ලදුව එයින් එක්සත් ජනපදයට මරු පහරක් එල්ල විය. අන් නිෂ්පාදන මෙන් නොව බෝග සහ මාංශ නරක් විය හැකි නිසා අළුත් ගැණුම්කරුවන් සොයමින් කාලය ගෙවන්නට එක්සත් ජනපදයට නොහැකි නිසා ඇමරිකානු වගා කරුවන් සහ පශු සම්පත් ගොවීන්ට සිය දිවි සනා ගැනීමේ තත්වයක් ඇති වී ඔවුන් සැම ට්‍රම්ප්ට ශාප කරමින් සිටිති. දැන් චීනය තම සෝයා බෝංචි සහ මාංශ අවශ්‍යතාවයන් සඳහා සුහදශීලී බ්‍රෙසීලය, ආජන්ටිනාව වැනි රටවල යොමුව සිටියි. යුරෝපා රටවල්ද ගූගල් ඇමසෝන් වැනි අරමරිකානු සේවා අත් හැර විකල්පවලට යොමු වීම මගින් එක්සත් ජනපදයට පහර දෙන්නට සැලසුම් කරමින් සිටිති. ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද ට්‍රම්ප්ට රිදෙන පියවර ගැනීම ඉතා නැණවත්ය. හලාල් පරිභෝජකයන් ගොවීන් වැනි කොටස් සතුරු කර ගැනීම ඉදිරි ප්‍රාද්ශීය සහ ප්‍රාන්ත ඡන්දවලදී ට්‍රම්ප්ට අවාසි ගෙන දිය හැකිය.

දැන් අපට ට්‍රම්ප්ගේ මේ පියවරවල ඇති සාධාරණ බව ගැන කතා කරමු. ට්‍රම්ප් මොළේ කචල් ඇත්තෙකු බවට ප්‍රකට නමුත් ඔහුගේ මෙම තීරු බදු හරඹය ඔහු කරන්නේ නිකරුනේ නොවේ. එක්සත් ජනපදයේ ලිබරල් ප්‍රතිපත්ති නිසා ලොව පුරා රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට එක්සත් ජනදය තීරු බදු පනවන්නේ ඉතා සුළු ප්‍රතිශතවලිනි. එනමුත් එම රටවල් තම දේශීය නිෂ්පාදන ආරක්‍ෂා කරනු පිණිස එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන ඇමරිකානු භාණ්ඩවලට විශාල තීරු බදු පනවති. මෙනිසා එක්සත් ජනපදය හා එම රටවල් අතර වෙළඳ පරතරය එක්සත් ජනදපයට අවසි වන ආකාරයෙන්ම කවදත් පවතියි. නිදසුකට ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපයනය කරනු ලබන ලාංකික නිෂ්පාදනවල අංගය ඩොලර් බිලියන 3 ක් ඉක්මවන නමුත් අප එක්සත් ජනපදයෙන් ආනයනය කරන්නේ මිලියන 300 ක් වැනි සුළු ප්‍රමාණයක් භාණ්ඩය. මෙයට හේතුව එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩවලට ශ්‍රී ලංකාව විශාල ප්‍රතිශතවලින් තීරු බදු පැනවීමයි.

ඉන්දියාව ගත් කළද එය එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩවල 12% තීරුබද්දක් පනවන අතර ඇමරිකාව මෙතෙක් ඉන්දීය භාණ්ඩවලට පනවමින් සිටියේ 2.7% ක තීරු බද්දකි. චීනය ඇතුලු ලොව සියලුම රටවල් ඇමරිකාව සමග කටයුතු කරන්නේ මේ ආකාරයටමය. මෙම තත්වය දශක ගණනාවක්ම පැවති නිසා දැන් එක්සත් ජනදපය විසින් ලොව පුරා රටවලින් ගෙන්වන භාණ්ඩ ඇමරිකාවේම නිපදවන්නට බැරි තරමට ඒ මත ආධීන වන්නට ඇමරිකාවට සිදුව තිබේ. ඇමරිකාවේ ඉහළ වැටුප් තත්වයද මෙයට බලපායි. මෙක්සිකෝව වැනි රටවලින් දෛනිකව ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන්ටද ට්‍රම්ප් තහනමක් පනවා ඇති හෙයින් අඩු මිළ ශ්‍රමිකයන්ද දැන් ඇමරිකාවට නැත.

ට්‍රම්ප්ගේ මෙම පියවර නිසා දේශීයව භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය. එනිසා මෙන්ම අපනයද කඩා වැටෙනු හෙයින් ආර්ථික බිඳවැටීම දැනටමත් එක්සත් ජනපදයේ ආරම්භ වී ඇත. කොටස් වෙළඳපළ ඇමරිකාවේ පමණක් නොව එක්සත් ජනපදයේ ආර්ථිකය සමග බැඳි රටවලද බිඳ වැටෙමින් තිබේ. මෙයට අමතරව ඇමරිකානු ඩොලරයෙන් ගනු දෙනු කිරීම ලොව ප්‍රධාන ආර්ථික හිමි රටවල් අත් හරිමින් සිටින තත්වයක සහ එහි දෝංකාරයක් ලෙසින් ඩොලරයේ ජගත් ආධිපත්‍යයද කඩා වැටෙමින් තිබේ. මෙවන් වාතාවරණයක ඇමරිකාවේ උද්ධමනය ඉදිරි කාලවල දරා ගත නොහැකි අන්දමට ඉහළ යනු ඇත යැයි ආර්ථික විශළේෂකයන් අනතුරු අඟවමින් සිටිති: අමු ද්‍රව්‍ය ඉහළ යනු ඇති හෙයින් ඒවා හිග වී දේශීය කර්මාන්තවල සැපයුම් දාමයන්ද කඩා වැටෙනු ඇත.

තීරුබදු බදු කප්පාදුව නිසා අපනයනය අඩු වී වෙළඳ පරතරයද අඩු වන බව ට්‍රම්ප් පැවසුවද එය ප්‍රායෝගික තර්කයක් නොවන බව නිපුණයන් පෙන්වා දෙති. මෙය වනාහි ගෙදරට සිල්ලර බඩු ගෙන ඒම නතර කළහොත් ගෙදර මුදල් ඉතිරි වනවා යයි කියනවා වැනි තර්කයකි. මුදල් ඉතිරි වන සැබෑ නමුත් කන්නට කිසිවක් ගෙයි තිබෙනු නොමැත.
මෙයට පෙර වතාවක් චීනයෙන් ආනයනය වන භාණ්ඩවලට තීරුබදු වැඩි කළ විට එයින් සිදු වුයේ දේශීය කර්මාන්ත සක්‍රීය විමක් නොව ක්‍ෂණිකව පාරිභෝගික මිල ගණන් ඉහළ යාමයි. ට්‍රම්ප්ට එය අමතක වුවා සේය. ට්‍රම්ප්ට මෙය කරන්නට තිබුනේ ක්‍රමක්‍රමයෙනි. ඒ මිස දශක ගණනාවක් චීනයේ අඩු මිල භාණ්ඩ නොකඩවා ගෙන්වීම නිසා දේශීය කර්මාන්ත සියල්ල වැසී ගොස් තිබෙන තත්වයක හදිසියේ එම භාණ්ඩ ගෙන්වීම නතර කළහොත් සිදු වන්නේ ඇමරිකාව පුරා උග්‍ර පාරිභොගික භාණ්ඩ හිගයකි.

හලාල් අපනයනයකරුවන් සඳහා වන හොඳම ප්‍රතිචාරය කුමක්ද? ඒ දෙමුහුන් ප්‍රවේශයක් ආදේශ කිරීමයි. අදාල රටවල් හලාල් කර්මාන්ත සඳහා සහනාධාර හෝ බදු සහන ලබා දි යුතුය. මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය වැනි නව වෙළඳපොළවල් වෙත යොමු විය යුතුය. ට්‍රම්ප්ට නොසලකා හැරිය නොහැකි අනෝන්‍ය වෙළඳගනුදෙනු තිබෙන ඉසව්වල සාකච්ඡා මාර්ගයෙන් සහන ලබා ගන්නට කටයුතු කළ යුතුය. තාක්ෂණය වැඩි දියුණු කර දේශීය මූලාශ්‍ර සමඟ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගත යුතුය. මැලේසියාව දැනටමත් මෙවන් පියවර ගනිමින් සිටින අතර, රසායනාගාරවල වගා කරන ලද හලාල් නිෂ්පාදනද අත්හදා බලමින් සිටියි.

එමෙන්ම හලාල් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් සඳහා දෙස් විදෙස්වල සටන් කරන ලෙස දේශපාලන නායකයින්ට බල කළ හැකිය. රජයන්ට වේගයෙන් අනුවර්තනය වීමට මෙය බල කරනු ඇත. ගවයන්ට ඇති වුනු රෝග, ආර්ථික අවපාත සහ වෙළඳ ආරවුල් ආදිය ඇති වු විට හලාල් ක්‍ෂේත්‍රයට ඒවා මගින් ප්‍රහාර එල්ල වු නමුත් ඒ සියල්ල අභිබවා මෙම ක්‍ෂේත්‍රය නැවත නැගී සිටි ආකාරය අතීතයෙහි අප දුටුවෙමු. බුද්ධිමත්ව ක්‍රියා කළහොත් මෙවරත් හලාල් ක්‍ෂේත්‍රය රැකෙනු නියතය. 2025 අප්‍රේල් 9 සිට ට්‍රම්ප්ගේ තීරුබදු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ. අදාල රටවල් උපාය මාර්ගිකව ක්‍රියා කළ යුතුය. හලාල් කර්මාන්තය මෙයට වඩා අයහපත් තත්වයන්ට මුහුණ දී ඇත. යටත් විජිත තහනම් කිරීම්, ගෝලීය යුද්ධ ආදියෙන් පසුවද හලාල් ක්‍ෂේත්‍රය ශක්තිමත්ව නැවතත් හිස එසවු ආකාරය අප දැක ඇත්තෙමු. ට්‍රම්ප්ගේ පියවර දරුණු පහරක් බවට විතර්යක් නැති නමුත් එය මරණීය ප්‍රහාරයක් නොවේ. ධෛර්ය, දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය සහිතව මෙම අර්බුදයෙන් ගැලවීමට සහ මෙය වාසිදායක තත්වයක් බවට පෙරළා ගැනීමට වෑයම් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here