“ලෝකයේ සෑම නිදහස් පුද්ගලයෙකුගේම හෘද ස්පන්දනය වන පලස්තීන ජාතිය මා ඔබට භාර කරමි”– ඝාතනයට ලක්වූ අනස් අල්-ෂරීෆ් මාස කිහිපයකට පෙර සකස් කළ ඔහුගේ අවසන් කැමත්තේදී මෙසේ පවසයි.

0
31

NEWSNOW | –  ඊශ්‍රායල් හමුදාව අතින් ඝාතනයට ලක්වූ අනස් අල් – ෂරීෆ් මීට මාස කිහිපයකට පෙර ඔහුගේ අවසන් කැමැත්ත සකස් කර ඇත්තේ තමන්ගේ ජීවිතය අවිනිශ්චිත බව ඔහු කල්තියාම දැනගත් බැවිනි.

මේ ඔහුගේ අවසන් කැමත්තයි.

අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!

මෙය මගේ අන්තිම කැමැත්ත සහ පණිවිඩයයි. මෙම වචන ඔබට ළඟා වුවහොත් ඊශ්‍රායේලය මාව මරා දමා මගේ හඬ නිහඬ කිරීමට සමත් වු බව දැන ගන්න.

ජබාලියා සරණාගත කඳවුරේ පදික තීරුවල සහ වීදිවල පලස්තීන වැසියන් විඳින දුක මා දුටු දින සිට මගේ සමුහයා වෙනුවෙන් හඬ නගා ඔවුන්ට හැකි සෑම සහයක්ම ලබා දීමට මගේ මුළු ශක්තියම යොදා මා සියලු උත්සාහ ගත් බව මහා කාරුණික අල්ලාහ් දනී.

මගේ එකම බලාපොරොත්තුව වූයේ මගේ පවුලේ අය සහ හිතාදරයන් සමඟ අපගේ උපන් ගම වු හා දැනට ඉශ්‍රායේල හමුදා අත් කරගෙන සිටින අස්කලාන් නගරයට නැවත පැමිණීමට අල්ලාහ් මගේ ජීවිතය දීර්ඝ කරනු ඇති බවයි. නමුත් අල්ලාහ්ගේ කැමැත්ත සහ නියමය සිදු කර අවසානය. මම වේදනාවේ සියලු රසය සමඟ ජීවත් වුවෙක්මි. දුක් වේදනා සහ හිතාදරයන් අහිමිවීම බොහෝ වාරයක් මා අත් වින්දෙමි, නමුත් විකෘති කිරීමකින් හෝ අසත්‍යකරණයකින් තොරව සත්‍යය ඇති ආකාරයටම ප්‍රකාශ කිරීමට මම කිසි විටෙකත් පසුබට නොවුයෙමි.

වසර එකහමාරකට වැඩි කාලයක් ඉශ්‍රායේල හමුදා අපව මිලේච්ඡ ලෙස ඝාතණය කරන විට නිහඬව සිටි හා එය පිළිගත් අයට, අපගේ හුස්ම හිර කළ අයට සහ අපගේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ විසිරී ගිය දේහයන් දුටු විට පවා හදවත් මෙළෙක් නොවුවන්ට අල්ලාහ් නිසි තීන්දුව දෙත්වා.

මුස්ලිම් ලෝකයේ කිරුළේ මැණික වන සහ මේ ලෝකයේ සෑම නිදහස් පුද්ගලයෙකුගේම හෘද ස්පන්දනය වන පලස්තීන ජාතිය මා ඔබට භාර කරමි. සිහින දැකීමට හෝ ආරක්ෂිතව සහ සාමයෙන් ජීවත් වීමට වාසනාව නොලැබු හා කුරිරු ලෙසින් අසාධාරණයට ගොදුරු වු අහිංසක පලස්තීන දරුවන් මා ඔබට භාර කරමි. ඔවුන්ගේ පිරිසිදු සිරුරු ටොන් දහස් ගණනක ඉශ්‍රායේල බෝම්බ සහ මිසයිලවලින් සුනු විසුනු වී, කැබලිවලට පිපිරී අවට බිත්ති පුරා විසිරී තිබුණි.

ඔබව නිහඬ කිරීමට හෝ දේශසීමා ඔබව නැවැත්වීමට ඉඩ නොදෙන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. අපගෙන් සොරකම් කරන ලද නිජබිම මත ගෞරවයේ සහ නිදහසේ හිරු උදාවන තුරු, අප දේශයේ සහ එහි ජනතාවගේ විමුක්තිය සඳහා වන පාලම් බවට පත් වන්න. මගේ පවුල රැකබලා ගැනීම මා ඔබට භාර කරමි. මගේ ආදරණීය දියණිය වන ෂාම්, මගේ දෑසේ ආලෝකය, මම ඔබට භාර කරමි, මා සිහින මැවූ ආකාරයට ඇය වැඩෙන ආකාරය දැකීමට මට වාසනා නොලැබුනි.

මගේ ආදරණීය පුත් සලාහ්වද මම ඔබට භාර කරමි, මගේ බර උසුලාගෙන මෙම උදාර මෙහෙවර නොනවත්වා කරගෙන යාමට තරම් ඔහු ශක්තිමත් වන තෙක් මම ඔහුට සහයෝගය දැක්වීමට සහ ජීවිතය පුරා ඔහු සමඟ යාමට මා පැතුවෙමි.

එමෙන්ම මගේ ආදරණීය මෑණියන්වද මම ඔබට භාර දෙමි. මා දැන් සිටින තැනට මාව ගෙන ආවේ ඇයගේ ආශිර්වාද ලත් ප්‍රාර්ථනාය. ඇයගේ යාඥා මගේ බලකොටුව වූ අතර ඇයගේ කාන්තිය මට මඟ පෙන්වූයේය. ඇයට ශක්තිය ලබා දී මා වෙනුවෙන් හොඳම ප්‍රතිඵල ලබා දෙන මෙන් මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි.

තවද යුද්ධය විසින් මාගෙන් දිගූ කලකට වෙන් කරනු ලැබූ පතිවත රකින මාගේ දයාබර බිරිය වන උම් සලාහ්වද මා ඔබට භාර කරමි. ඔලිව් ගසක නොනැමෙන අතු මෙන් ඇයගේ අධිෂ්ඨානය ශක්තිමත්ය. අල්ලාහ් වෙත පුර්ණ විශ්වාසය තබන ඇය මා නැති විට දරුවන්ගේ වගකීම ඉවසීමෙන් සහ තිර අදිටනින් යුතුව භාර ගත්තාය.

සර්වබලධාරී අල්ලාහ්ගෙන් පසු ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් සමග අත්වැල් බැඳ ගන්නා මෙන් මා ඔබ වෙතින් ඉල්ලා සිටිමි. මා මිය ගියද මිය යනු ඇත්තේ මාගේ උදාර ප්‍රතිපත්ති වෙනුවෙනි. අල්ලාහ්ගේ නියෝගයෙන් සෑහීමකට පත්වන බවත්, ඔහුව හමුවීමට නිසැක බවත්, අල්ලාහ් සමඟ ඇති දේ වඩා හොඳ සහ සදාකාලික බවත් තරයේ විශ්වාස කර මා සාක්ෂි දරමි.
ඕ අල්ලාහ්, මාව ධර්මය වෙනුවෙන් දිවි පිදූ ෂහීද් කෙනෙකු ලෙස පිළිගනු මැන. මගේ අතීත සහ අනාගත පාපවලට සමාවද දෙනු මැන, මගේ රුධිරය මගේ සමුහයා සහ මගේ පවුලට නිදහසේ මාවතට එළිය දෙන පහනේ ඉන්ධන බවට පත් කරනු මැන. මම බොහෝ පව් කර ඇත්නම්. මට සමාව දෙනු මැන. මගේ වැසියනි මම මගේ පොරොන්දුව ඉටු කළ අතර එය කිසි විටෙකත් වෙනස් නොකළෙමි හෝ පාවා නොදුන්නෙමි. එබැවින් මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න .
සමාව සහ පිළිගැනීම සඳහා වන ඔබගේ නිර්මල යාඥාවලදි ගාසාව සහ මාව කිසිවිටෙක අමතක නොකරන්න.
අනස් ජමාල් අල්-ෂරීෆ්

2025.04.06

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here