මොරටුව ලුනාව රෝහලේ පවතින අඩුපාඩු ඇමති හර්ෂණ නානායක්කාර නිරීක්‍ෂණය කරයි

0
13

මොරටුව ලුනාව රෝහලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කරමින් ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මොරටුව ලුනාව ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා විසඳුම් ලබාදීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අද ( 29) පෙරවරුවේ නිරත විය.

ප්‍රමාණවත් වෛද්‍යවරුන් රෝහල තුළ නොසිටීම හේතුවෙන් දෛනිකව බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන තුන් සීයයක් පමණ වන රෝගීන් දැඩි පීඩාවට පත්වන බැවින් කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම, රෝහලේ මෘත ශරීරාගාරය යථා තත්වයට පත් කිරීම, වාට්ටු සංකීර්ණය සඳහා වැඩ ආරම්භ කර ඉදි කිරීම් නවතා දමා ඇති ගොඩනැගිලි සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම, කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සහ රෝහලේ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.වෛද්‍යවරුන් නව දෙනෙකු රෝහල සඳහා අනුමත වුවද මේ වන විට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණයි.

මහල් පහකින් යුත් නව වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු 2018 සිදුව ඇතත් මේ වන විට එහි ඉදි කිරීම් නතරව තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වැය කර ඇති බවට මෙහිදී අනාවරණය විය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.ලුනාව රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි අවශ්‍යතා රාශියක් පිළිබඳව අවධානය යොමු කළා. වෛද්‍යවරුන්ගේ හිඟය ඇතුළු කරුණු කිහිපයක් ඒ අතර තිබෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමඟ මේ ආයතන කඩා වැටුණා. නැවතත් මේ ආයතන යථා තත්වයට පත් වෙමින් තිබෙනවා. දෛනිකව බාහිර රෝගී අංශයට රෝගීන් තුන් සීයයක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා . නමුත් බාහිර රෝගී අංශයට සිටින්නේ එක් වෛද්‍යවරුයෙක් පමණයි. අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. මොරටුවට තිබෙන ප්‍රධාන රෝහල ලුනාව රෝහලයි. 2018 වසරේදී නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම සිදු කර තිබෙනවා. නමුත් එහි ඉදි කිරීම් අතරමග නවතා දමා තිබේ.

එම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කර රෝහල් කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, ලුනාව ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රියන්ති රේණුකා, මොරටුව ප්‍රාදේශිය ලේකම් ප්‍රසන්න කිරිවත්තුඩුව යන මහත්ම මහත්මීන් සහ නාගරික මන්ත්‍රිවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here