NEWSNOW| – පාකිස්ථාන යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් Syed Aamer Raza ඊයේ (ජූලි 22) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඔහුගේ කාර්යාලයේදී සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය.
මෙම අවස්ථාවන්ට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Muhammad Farooq ද එක්ව සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවීමට පැමිණි පාකිස්ථාන දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙරට අතර, පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක නිරත විය. මෙම සංවාදය ඔස්සේ යුධමය ධාරිතාවන් ශක්තිමත් කිරීම සහ වඩාත් උචිත භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම, ආදී කරුණු පිළිබඳ මෙන්ම විශේෂයෙන් ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දක්විමට පවතින සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය.
එහිදී පාකිස්ථාන රජය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මෙරට හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය නිපුණත්වය සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ආරක්‍ෂක ක්ෂේත්‍රයන් වෙත ලබා දී ඇති පුහුණු අවස්ථා වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර පවතින දිගුකාලීන සමීප සබඳතා යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක ක්ෂේත්‍ර හරහා සහයෝගී උත්සාහයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය අප්‍රේල් මාසයේදී ඉස්ලාමාබාද්හි පැවති ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක කතිකාවත පිළිබඳව ද සිහිපත් කළේය.
තවද, ලුතිනන් ජෙනරල් Syed Aamer Raza ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවීමට ද පැමිණියේය. එහිදී පැවති සාකච්ඡාවලදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් වන උසස් උපායමාර්ගික සහයෝගිතාවයක් අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වයම පිළිගනු ලැබූ අතර, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අන්‍යොන්‍ය කැපවීම දෙපාර්ශ්වයම යළිත් තහවුරු කළහ.
ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති මෙම හමුවීම් ඔස්සේ අන්‍යොන්‍ය අවබෝධය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ තවත් ශක්තිමත් ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබීය