කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් සාමාන්‍ය පරිදි

0
110

NEWSNOW | – කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේය.

මැදපෙරදිග කළාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කළාපය අද (24) දින අලුයම 01.00 පමණ සිට යළි  විවෘත කර ඇති බැවින් , එම කළාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවාය.

එසේම තවදුරටත් කටාර් රාජ්‍යයේ ගුවන් කළාපය වසා දමා තිබුණ ද, ඉතා සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පැවසුවාය.

අද උදෑසන වනවිට මැදපෙරදිග කළාපයේ රටවල් වෙත හරවා යවා තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවාය.

කටාර් රාජ්‍යයේ දෝහා සිට ඊයේ (23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර, කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද , නිශ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව ද පැවසුවාය.

මැදපෙරදිග බලා අද (24) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානා වල නිශ්කාශන කටයුතු අද දින පස්වරු 02.30 සිට ආරම්භ කරන අතර අනෙකුත් ගුවන් ගමන් , ප්‍රමාද වීමකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවාය.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)