NEWSNOW| – ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තුව ඉහළ දැමීමට සූදානම් වේ.
මේ පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදුකෙරෙන බවයි.
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එහි දක්වා ඇත්තේ 2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගියද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවයි. එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.