ඡන්දය දාන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නෑ

0
18

NEWSNOW| – පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවය.

ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි අයෙක් වේ නම් ඔහුටද කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවද ඒ මහතා පැවසීය.

ඔබට අත්‍යාවශ්‍ය වන්නේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය වන ජාතික හැඳුනුම්පත හෝ නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රයයි. යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙනවා විශ්‍රාමික හැඳුනුම්පත ඒ හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරු නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත තිබේ නම් එය භාවිත කිරීමට හැකිය. ඊටත් අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන පූජ්‍ය/ පූජක සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්, ඊට අමතරව පසුගියදා කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන් නිකුත් කළා පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි භාර ගන්නවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ආබාධිතයින් සඳහා හැඳුනුම්ද මේ සඳහා වලංගු වේ.

එසේම මේ මුකුත්ම නැති කෙනෙකුටද තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට මැතිවරණ කාර්යාලවලින් පියවර ගත්තේය. මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට එයද  භාවිත කළ හැක.