මුස්ලිම් සමාජය මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු පිළිබඳව රජය සංවේදීව කටයුතු කරනවා – ඇමති විජිත හේරත් පවසයි

0
59

NEWSNOW | – මුස්ලිම් සිවිල් සමාජ නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(30) පැවැත්වුණි. ඒ මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කාලීනව මුහුණ පාන ගැටලු නව රජය යටතේ විසඳීමට ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ය. කැබිනට් අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සහ පාර්’ලිමේන්තු මන්ත්‍රී අස්ලම් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවට මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරීන් 30කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

නව රජයේ ප්‍රතිපත්තිය ජාතික ඒකාබද්ධතාවය බවත් කිසිවෙකුට ජාතීන් අතර භේද ඇති කිරීමට හෝ කිසිඳු පාර්ෂවයකින් ජාතිවාදී ක්‍රියා ඉස්මතු වීමට රජය ඉඩ නොතබන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ කරුණු වල දී ජාති, ආගම් හෝ තරාතිරම් නොසලකා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටින බව ද පෙන්වා දුන්නේය. මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු පිළිබඳව රජය සංවේදී බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඕනෑම ප්‍රජාවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී අදාළ ප්‍රජාවේ ඉල්ලීම් සහ හඬට සවන් දීම රජයේ ප්‍රතිපත්තිය බවත් පැවසුවේය.

පලස්තීන ජනතාව සම්බන්ධයෙන් විපක්ෂයේ සිටිමන් තම දේශපාලන ව්‍යාපරය කළ මැදිහත් වීමෙහි කිසිඳු වෙනසක් බලයට පැමිණීමෙන් පසු සිදු වී නොමැති බවත් රාජ්‍ය බලයට ලබා ගැනීමෙන් පසු රාජතාන්ත්‍රිකව පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වී සිටින බව ද අමාත්‍යවරයා මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින් ඉදිරියේ ප්‍රකාශ කළේය.

සිවිල් සමාජ නායකයින් සමඟ මෙවැනි සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වීමටත් මෙහි දී එකඟතාව පළ විය.