ජාත්‍යාන්තර අධ්වේගී තැපැල් සේවය ඔස්සේ ආ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගය

0
132

NEWSNOW | – රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ්” සහ ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක්,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබේ.

ඒවා කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

ඇමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාළඹේ, කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කීපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14 ක්, රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීම් සිදු කර, ඒවා අතරින් පාර්සල් 12ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී ගැනුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර ” කුෂ්” කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 677 ක් සහ ” හෂීෂ් ” කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 852 ක් තිබූණි.

මීට අමතරව මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් තිබීමද විශේෂත්වයකි.

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්’ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්’යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.