එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ ඇමති ජනපති හමුවෙයි

0
34

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස අද (22) ජනාධිපති කාර්යාලයේ දී හමු විමි.

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා එහිදී මා සමඟ පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් අප රජයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී අප රජයේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පයද උප අගමැතිවරයා පැසසීය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජනය හිතකාමී පරිසරය පිළිබඳ මෙහිදී මම උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස දැනුවත් කළෙමි. අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් එහිදී මා සඳහන් කළෙමි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිත කණ්ඩායම දැනුම්වත් කිරීමට කටයුතු කළෙමි. එසේම, වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද ඔවුන් හට පෙන්වා දුන්නෙමි.

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම අප රජයේ ප්‍රධානතම අරමුණ බවද මම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැතිවරයා ඇතුළු දූත පිරිසට ප්‍රකාශ කළෙමි.