උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණයට පියවර

0
25

NEWSNOW | – අප්‍රේල් 11 වනදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ, නැප්තා භාවිතා කරන කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12වන දින පෙරවරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළ බව එහි සඳහන් වේ.

ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරෑප ලෙස සමාන විය යුතු බව පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවය.