මියන්මාර සරණාගතයින් ආපසු යවන්න එපා – මීගමුවේ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් !

0
123

NEWSNOW | – මියන්මාර හමුදා පාලකයන්ගේ අඛණ්ඩ මර්දනය හමුවේ ඉන් මිදී දෙසැම්බර් 19 වැනිදා මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් ළමුන් 40කට වැඩි පිරිසක් ඇතුළු රොහින්ග්‍යා සරණාගතයින් 103 දෙනෙකු පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය යළි සලකාබලන ලෙස මීගමුවේ ජනතාව ඉල්ලා සිටිති.

සරණාගතයින් මියන්මාරයට නැවත පැමිණීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන බවත්, තාඩන පීඩනවලට ලක්වන රටකට පුද්ගලයන් යැවීම තහනම් කරන ජාත්‍යන්තර නැවත පදිංචි කිරීමේ මූලධර්ම උල්ලංඝනය වන බවත් මීගමුවේ පුරවැසියන් පෙන්වා දී ඇත.

සරණාගතයින් සුරක්ෂිත රටක නැවත පදිංචි කරන තුරු ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මානව හිමිකම් සහ වාර්ගික සංහිඳියාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අද රජය බාහිර ලෝකයට ප්‍රදර්ශනය කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. රාමසාන් උපවාස කාලය එළඹෙන බැවින් මානුෂීය පදනමින් සරණාගතයින් සඳහා ආහාර, ඇඳුම් පැළඳුම් සහ සියලුම වෛද්‍ය පහසුකම් රජය විසින් ලබාදිය යුතු බවද ඔවුන් ඉල්ලා තිබේ.

පසුගිය දශක තුනක කාලය තුළ පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සරණාගතයින් විශාල ප්‍රමාණයක් මීගමුවේ ආරක්ෂිතව නවාතැන් ගෙන පසුව ජාත්‍යන්තර නීතිවලට අනුකූලව වෙනත් රටවලට යවන ලදී. එසේම මීගමුවේ ජනතාව ඉල්ලා සිටින්නේ රෝහින්ග්‍යා සරණාගතයින් නිරුපද්‍රිතව වෙනත් රටවලට යැවීමට හැකිවන තුරු ඔවුන් සියලු පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට රජය පියවර ගත යුතු බවයි.

2017 වසරේ මියන්මාර හමුදා පාලකයින් රඛයින් ප්‍රාන්තයේ මුස්ලිම් රෝහින්ග්‍යා වැසියන්ට එරෙහිව ප්‍රහාර තීව්‍ර කිරීමත් සමඟ මිලියන 10කට අධික ජනතාවක් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ. ඔවුන්ගෙන් 965,000ක් අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් වීම විශේෂත්වයකි.

වාර්’තාව (සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු සහ පුරවැසි මාධ්‍යවේදියෙකු වන සුජයිල් මුනීර් – මීගමුව)