නාඩු සහල් තොග මිලට දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

0
53

NEWSNOW| – නාඩු සහල් තොග මිලට පාරිභෝගිකයන්ට අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.

ඉදිරි දින දහය තුළ පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ස්ථාවර මිලට අපොහොසත් වන සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති දිසානායක මහතා මේ අදහස් පළ කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සහල් ව්‍යාපාරිකයන් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

රටේ විශාලතම ආයෝජන මහාමාර්ග අමාත්‍යාංශයට ද ඉන් පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම යන ක්ෂේත්‍ර සඳහා ද ගොවීන්ට සැලකිය යුතු සහනාධාර ලබා දෙන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වී මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ට අඩු පොලියට බැංකු ණය ලබාදී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතාවට දැරිය හැකි සහල් ලබා ගැනීමේ අයිතිය කඩ නොකරන ලෙස සහල් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස පහත සහල් මිල ක්‍රියාත්මක කෙරේ

නාඩු සහල් කිලෝවක තොග මිල රු. 225, සිල්ලර මිල: රු. 230
සුදු සහල් කිලෝවක තොග මිල රු. 215, සිල්ලර මිල: රු. 220
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල: රු. 220
සම්බා සහල් කිලෝවක තොග මිල රු. 235, සිල්ලර මිල: රු. 240
කීරි සම්බා කිලෝවක තොග මිල රු. 255, සිල්ලර මිල: රු. 260

දෛනිකව සහල් මිල නිතර වෙනස් කිරීම සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන් දැඩි ලෙස විවේචනය කළ ජනාධිපතිතුමා දෛනික සහල් නිෂ්පාදනය සහ මෝල් මඟින් බෙදා හැරීම නිරීක්ෂණය කරන ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය.

එමෙන්ම සහල් ආශ්‍රිත ගැටලු සුහදව විසඳා ගැනීමට රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිතුමා සහල් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.