5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපදෙස් මාලාවක්

0
48
NEWSNOW | – ලබන 15 වන ඉරු දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කෙරෙන බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 323,879ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී විභාගයට පෙනී සිටීමට නියමිතය.
තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාග මධ්‍යස්ථාන 7කදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට එහි සිට විභාගයට මුහුණදීම සඳහා ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
කොටස් දෙකකින් යුත් ශිෂ්‍යත්ව විභාගයේ පළමුව දෙවැනි පත්‍රය පැවැත්වෙන අතර, එය පෙ.ව. 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව පෙ.ව. 11.15ට පැයක කාලයක් පැවැත්වෙන පළමු පත්‍රය ආරම්භ වේ.
මෙහිදී විශේෂ දැනුම්දීමක් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, පෑනෙන් ලියනවා නම් කළු හෝ නිල් පෑන් පමණක් භාවිත කළ හැකි බවය.
ඒ හැරෙන්න වෙනත් වර්ණ භාවිත කිරීමට අවසර නොමැති බව සඳහන් කළේය. කෙසේ නමුත් පැන්සලෙන් ලියනවා නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද පැවසීය.
ඊට අමතරව මකන කෑල්ලක්, අඩි කෝදුවක්, වතුර බෝතලයක් විභාග ශාලාවට රැගෙන යා හැකි බවත්, ෆයිල් කවර, ස්මාට් වර්ගයේ ඔරලෝසු රැගෙන යාමට අවසර නොමැති බවද පෙන්වා දුන්නේය.