ශ්‍රී ලංකාවේ උපන් කලාකරු අයිවන් පීරිස්ගේ ‘The Well’ (ළිඳ) නම් සිතුවම, නිව් යෝර්ක් හි පැවති ක්‍රිස්ටිස් (Christie’s) ආයතනයේ ‘දකුණු ආසියානු නූතන සහ සමකාලීන කලා’ වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 640,000 කට අලෙවි වූ අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ උපන් කලාකරුවෙකුගේ කලා නිර්මාණයක් වෙනුවෙන් නව වෙන්දේසි වාර්තාවක් පිහිටුවන ලදී.
කැන්වස් මත තෙල් සායම් (oil-on-canvas) මාධ්‍යයෙන් 1957 දී නිර්මාණය කරන ලද මෙම සිතුවමේ වටිනාකම අලෙවියට පෙර ඇමරිකානු ඩොලර් 70,000 ත් 100,000 ත් අතර අගයක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි. ක්‍රිස්ටිස් ආයතනය විසින් ‘The Well’ සිතුවම පීරිස්ගේ වැදගත්ම නිර්මාණයක් ලෙසත්, ඔහුගේ දැවැන්ත ‘පැනල් සිතුවම්’ (panel paintings) හතෙන් වෙන්දේසියකට ඉදිරිපත් කළ එකම නිර්මාණය ලෙසත් හඳුන්වා දී ඇත.
1958 වැනීසියේ බියෙනාලේ (Venice Biennale) කලා ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරුණු මෙම නිර්මාණය මගින්, ග්‍රාමීය ශ්‍රී ලාංකීය වෙරළබඩ පරිසරයක පිහිටි ගම්මානයක ළිඳක් කේන්ද්‍ර කරගත් දර්ශනයක් නිරූපණය කෙරේ. ශ්‍රී ලංකාවේ බලපෑම් සහගත කලා කණ්ඩායමක් වූ ’43 වන කණ්ඩායමේ’ (Group ’43) ආරම්භක සාමාජිකයෙකු වූ පීරිස්, 1921 දී උපත ලැබූ අතර 1988 දී අභාවප්‍රාප්ත විය.

