2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය කථාව ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අනුමත වූ මෙම කාලසටහනට අනුව, විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 07 වැනිදා සිදුකෙරේ.
ජනාධිපතිවරයා (මුදල් අමාත්‍යවරයා) විසින් නොවැම්බර් 12 වනදා අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා පැවැත්වෙන කාරක සභා අවස්ථාවේ විවාදයෙන් පසු, අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට තීරණය කර ඇත.

