ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේදී මීටර් 88.14ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනාගැනීමට සමත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වරක් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියි.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රසාද ලකුණු 1,363ක් ලබාගනිමින් රුමේෂ් මෙලෙස පෙරමුණට පැමිණ ඇති අතර, ලොසෑන් අදියර ආරම්භ වන විට ප්‍රථම ස්ථානයේ පසුවූ ජර්මනියේ ජූලියන් බෙබර් අදාළ තරගයට සහභාගී නොවීමට තීරණය කිරීමත් සමඟ ලකුණු 1,342ක් ලබාගෙන දෙවන ස්ථානයට ඇද වැටී තිබේ.
මීට පෙර ග්ලාස්ගෝහි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග, මෙම ජයග්‍රහණයත් සමඟ නැවත වරක් ලෝක මට්ටමේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට සමත් විය.

