යුක්රේන හිටපු ආරක්ෂක ඇමතිගෙන් මැතිවරණ ඉල්ලීමක්

0
24

යුක්රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් (Mykhailo Fedorov), දීර්ඝ කාලීන යුදමය වාතාවරණයක් හමුවේ වුවද ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ පැවැත්විය හැකි ආරක්ෂිත සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ඉල්ලීමක් කර සිටියි.

යූටියුබ් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් 35 හැවිරිදි ෆෙදොරොව් අවධාරණය කර ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරගත නොහැකි” බවයි. 2022 වසරේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ තැන් පටන් යුක්රේනය තුළ යුද නීතිය ක්‍රියාත්මක වන අතර, එම හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා තිබේ.

ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට එරෙහිව එල්ල වූ ප්‍රබලතම අභියෝගය ලෙස විදෙස් මාධ්‍ය මෙම ප්‍රකාශය හඳුන්වන නමුත්, අදාළ වීඩියෝවේදී ෆෙදොරොව් විසින් ජනාධිපතිවරයාගේ නම සෘජුව සඳහන් කර නොමැත.

පසුගිය ජූලි මාසයේදී ෆෙදොරොව්ව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමට පියවර ගැනුණු අතර, ඊට එරෙහිව රට පුරා විරෝධතා ද මතුවිය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාව තුළ දූෂණයට එරෙහිව කටයුතු කිරීමත්, දත්ත විශ්ලේෂණ හරහා යුද පෙරමුණේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කිරීමත් හේතුවෙන් ඔහු ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මෙම ඉවත් කිරීම යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි සමඟ පැවති මතභේද මත සිදුවූවක් බවට ද වාර්තා පළ විය.

ජනාධිපතිවරයා විසින් ඔහුට රජයේ වෙනත් තනතුරු කිහිපයක් යෝජනා කර තිබුණද, තමන් යළි රජයට එක්වන්නේ නම් ඒ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පමණක් බව ෆෙදොරොව් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්, සිය ඉදිරි දේශපාලන තීරණ පිළිබඳව නිශ්චිත ඉඟියක් ලබාදීමෙන් වැළකී සිටි හිටපු ආරක්ෂක අමාත්‍යවරයා, යුද්ධය පවතින අතරතුර වුවද නීත්‍යානුකූල හා ආරක්ෂිත මැතිවරණ ක්‍රමවේදයක ඇති වැදගත්කම පමණක් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here