භූතානයේ පැවැති ගෝලීය සමුළුවේදී අගමැතිනිය ශ්‍රී ලංකාවේ පාරම්පරික තිරසාර ආහාර සංස්කෘතිය අගයයි.

0
3

භූතානයේ ඩුංකාර් ඩ්සොං (Dungkar Dzong) හිදී පැවැති ප්‍රථම ‘ගෝලීය සිහිකල්පනාවෙන් යුත් ආහාර පද්ධති සමුළුව 2026’ (Global Conscious Food Systems Summit 2026) අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ශ්‍රී ලංකාවේ පාරම්පරික තිරසාර කෘෂිකාර්මික හා ආහාර සංස්කෘතිය පිළිබඳව ලෝකයේ අවධානය යොමු කළාය.

“මොහොතේ අවශ්‍යතාවට නැගී සිටීම: බහුවිධ අර්බුද හමුවේ සිහිකල්පනාව අවදි කිරීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පරිසරය සමඟ සමගියෙන් ජීවත් වෙමින් ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, කල්තබා ගැනීම සහ පරිභෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව දිගුකාලීන උරුමයක් පවතින බවයි.

භූතාන රාජකීය රජය, සිහිකල්පනාවෙන් යුත් ආහාර පද්ධති සන්ධානය (CoFSA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කළ මෙම සමුළුව, සංස්කෘතිය, මානව අගයන්, ආත්මීය පරිවර්තනය සහ පාරිසරික යහපැවැත්ම එක්කරමින් තිරසාර ආහාර පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගනිමින් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේද සොබාදහම සූරාකෑම වෙනුවට සොබාදහම සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට සකස් වී ඇති බව අවධාරණය කළාය.

ප්‍රධාන දේශනයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, භූතාන අග්‍රාමාත්‍ය ඩාෂෝ ත්ෂෙරින් ටොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා සමඟ “සිහිකල්පනාවෙන් යුත් නායකත්වය” (Conscious Leadership) යන තේමාව යටතේ පැවැති සංවාද මණ්ඩපයකට ද එක්වූවාය.

ඉන්පසු පැවැති මාධ්‍ය හමුවේදී ආහාර සුරක්ෂිතතාව, තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද, කාන්තා රැකියා නියුක්තිය සහ සම්පූර්ණ සමාජ-ආර්ථික සංවර්ධනය පිළිබඳව දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබාදුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here