ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (23) නියෝග කළේය.
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අද දින අධිකරණයේදී ප්‍රකාශයට පත් කළ අතර, මීළඟ නඩු දිනයේදී ඇප ඉල්ලීම සලකා බැලීමට පෙර පහත සඳහන් කරුණු 03 සම්බන්ධයෙන් ලිඛිත දේශනයන් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කරන ලදී.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම විමර්ශනය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය එකතු කර (ඒකාබද්ධ කර) නඩු පැවරීමට ඇති හැකියාව. මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙත යොමු කළ හැකිද යන්න. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ 4 වන සැකකරු ලෙස මෙම සැකකරු නම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද යන්න.
මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ ලිඛිත කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ ඉදිරි තීරණය ගැනීමට නියමිතය.

