ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල පන්දුවාර 48කදී ලකුණු 265කට සියල්ලන් දැවී ගිය අතර, හැරී බෘක් ලකුණු 67ක් ද විල් ජැක්ස් ලකුණු 46ක් ද රැස් කළහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දුවෙන් දක්ෂතා දැක්වූ විල් ජැක්ස් කඩුලු 5ක් බිඳහෙළීය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටියි.

