මෑතකදී නේපාලයේ සිදුවූ දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට සහ විපතට පත්වූ ජනතාවට සිය ගැඹුරු ශෝකය පළ කිරීම සඳහාත්, නේපාලය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්වී ශක්තිමත් රටක් ලෙස නැවත නැගී සිටීමට ආශිර්වාද කිරීම සඳහාත්, ශ්‍රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලයේ ඊයේ (03/09/2026) සර්ව ආගමික විශේෂ ආගමික වතාවත් පැවැත්විණි.
බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් සර්ව ආගමික නායකයන් වන පූජ්‍ය ශාස්ත්‍රපති ආචාර්ය ගලගම ධම්මරන්සි නායක ස්වාමීන් වහන්සේ, ශිව ශ්‍රී ආචාර්ය බාබුශර්මා කුරුක්කල්තුමා, අල්හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා, අගරදගුරු ආචාර්ය ප්‍රින්ස් ජේ. ඥානරාජා පියතුමා, ආචාර්ය තිලක්සූරිය ජයවර්ධන පියතුමා සහ ආචාර්ය ඇන්ත්රෝනි ස්වාමිතුමා නේපාල තානාපති කාර්යාලයට පැමිණියහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ නේපාල තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති (Chargé d’Affaires a.i.) ගරු විජේ කුමාර් රව්ත් මහතා හමුවූ සර්ව ආගමික නායකයෝ, නේපාලයේ ඇති වූ මෙම දරුණු ස්වභාවික ආපදාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට සහ විපතට පත්වූ ජනතාවට සර්ව ආගමික නායකයන් තමතමන්ගේ ආගම වෙනුවෙන් සිය ගැඹුරු ශෝකය පළ කළහ.
එමෙන්ම ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පිරිනැමීමත්, විපතට පත්වූ ජනතාවට ධෛර්යය හා සැනසීම ලැබීමත්, නේපාලය මෙම ආපදා තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදී යථා තත්ත්වයට පත්වීමත් ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික නායකයන් විසින් විශේෂ ආගමික වතාවත් සිදු කරන ලදී.
අනතුරුව, නේපාල තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි සර්ව ආගමික නායකයෝ තම තමන් නියෝජනය කරන ආගම් වෙනුවෙන් සිය ගැඹුරු ශෝක පණිවිඩ සටහන් කළහ.මෙම අවස්ථාවට නේපාල තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.


