දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 25,563ක පුද්ගලයන් 81,605 දෙනෙකු දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. මෙම වියළි කාලගුණයෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ සංසිද්ධිය හමුවේ මතු වන නියඟ තත්ත්වයන්ට මුහුණ දීම සහ බාධාවකින් තොරව ජල සැපයුම තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් අගෝස්තු 06 වන දා විශේෂ චක්රලේඛයක්ද නිකුත් කර ඇති බව පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතා සඳහන් කළේය.
එම චක්‍රලේඛය මඟින් පීඩාවට පත් ජනතාවට ජලය සැපයීමේදී පවතින නීති සහ රෙගුලාසි සංශෝධනය කර ඇති අතර, පානීය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා පුද්ගලයෙකුට දිනකට ලබාදෙන ජල ප්‍රමාණය ලීටර් 6 සිට ලීටර් 15 දක්වා ඉහළ නංවා තිබේ.
මේ වන විට ජල බවුසර් 324ක් ප්‍රදේශ වෙත යොදවා ඇති අතර, අවශ්‍යතාවය පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හෝ ආරක්ෂක අංශවල බවුසර් රථද යොදවා ගැනීමට පියවර ගෙන ඇත. තවද, මෙම නියඟ ආපදා සහන සැලසීම මෙන්ම ඉදිරියේදී පැමිණිය හැකි අධික වර්ෂාපතන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජාතික අයවැයෙන් රුපියල් බිලියන 4.8ක මුදලක් වෙන් කර ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් තහවුරු කරයි.

