වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. ඊයේ (13) දින වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 68කි.
දත්ත වාර්තාවන්ට අනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 29,968 දෙනෙකු හඳුනාගෙන ඇත. මීට අමතරව, අගෝස්තු මාසයේ ගතවූ මුල් දින 13 තුළදී පමණක් රෝගීන් 6,004 දෙනෙකු වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එතැනින් රෝගීන් 48,383ක් වාර්තා වී ඇත. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,479ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,160ක් ලෙස වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

