අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව ද්විපාර්ශ්වික රාජ්ය සංචාරයකට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්ය තාන්ත්රික පිරිස අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත ඊයේ (23) පස්වරුවේ පැමිණියහ.
ජනාධිපති ට්රම්ප් සහ මෙලනියා ට්රම්ප් ආර්යාව විසින් ගුවන්තොටුපළේදීම චීන ජනාධිපතිවරයා සහ පෙං ලීයුවාන් ආර්යාව මහත් හරසරින් පිළිගත් අතර, මෙම සංචාරය දෙරට සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ට්රම්ප් මහතා හඳුන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ චීනය සහ අමෙරිකාව ප්රතිවාදීන් නොව සහයෝගී හවුල්කරුවන් විය යුතු බවයි. චීනයේ පුනර්ජීවනය අමෙරිකාවේ විශිෂ්ටත්වයට තර්ජනයක් නොවන බවත්, මතභේද නිසි ලෙස පාලනය කරමින් සාමකාමී ස්ථාවරත්වයක් සහ නව යුගයකට ගැලපෙන ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීම දෙරටේම වගකීම බවත් ජනාධිපති ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

