ඊශ්‍රායලය 3-0ක් ලෙස පරාජය කළ අයර්ලන්තය, ගාසා තත්ත්වය හේතුවෙන් අතට අත දීම ප්‍රතික්ෂේප කරයි.

0
10

ඊශ්‍රායලයට එරෙහිව හංගේරියාවේදී පැවැති UEFA නේෂන්ස් ලීග් (Nations League) පාපන්දු තරගයට පෙර, අයර්ලන්ත ක්‍රීඩකයින් ඊශ්‍රායල ක්‍රීඩකයින් සමග අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම ඊශ්‍රායල ජාතික ගීය ගායනා කරන අවස්ථාවේදී හිස නමා තම විරෝධය පළ කිරීමටද ඔවුන් පියවර ගෙන ඇත.

තරගයට පෙර සාමාන්‍යයෙන් සිදුවන අයර්ලන්ත නායක ඩාරා ඕ’ෂියා (Dara O’Shea) සහ ඉශ්‍රායල නායක මැනෝර් සොලමන් (Manor Solomon) අතර නිල සංකේත (pennants) හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු නොවීය.

ගාසා තීරයේ පවතින අර්බුද හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිපත් කරමින් අයර්ලන්ත ක්‍රීඩකයින් කළු පැහැති බාහු පටි පැළඳ තරගයට එක්ව සිටියහ. ගාසා තීරයේ පැවැත්වෙන යුද්ධය මුල් කරගනිමින් ඊශ්‍රායලයට එරෙහි තරග වර්ජනය කරන ලෙස අයර්ලන්තය තුළින් නැගුණු දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන තිබේ.

තටස්ථ ක්‍රීඩාංගණයක පැවැති මෙම තරගයට මුලින් සැලසුම් කළ පරිදි සහභාගී වීමට අයර්ලන්ත ක්‍රීඩකයින් බහුතරයකගේ ඡන්දයෙන් තීරණය කර තිබුණද, තරගයට පෙර පැවැත්වෙන සම්ප්‍රදායික අතට අත දීමේ චාරිත්‍රයට එක් නොවීමට ඔවුන් තීරණය කර තිබුණි.

කෙසේවෙතත්, මෙම තරගයට සහභාගී වීම “වැරදි ක්‍රියාවක්” බව පවසමින් අයර්ලන්ත ගෝල් රකින ක්‍රීඩක ගැවින් බාසුනු (Gavin Bazunu) තරගයට පෙර සංචිතයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබුණි.

මෙම විරෝධතාවලින් අනතුරුව පැවැති තරගයෙන් ඊශ්‍රායලය පරාජය කරමින් ගෝල 3-0 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here