අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ සිදුවූ කුලී ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් අටදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇන්කරේජ් නගරයෙන් ගමන් ආරම්භ කළ Cessna 441 වර්ගයේ මෙම ගුවන් යානය කේප් නිව්එන්හැම් වෙත යමින් සිටියදී, බ්‍රහස්පතින්දා දහවල් 12.15ට පමණ ගමනාන්තයට ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහවිදෙස් පුවත් සේවයන තහවුරු කරයි.
ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ (NTSB) ඇලස්කා කලාප ප්‍රධානී ක්ලින්ට් ජොන්සන් සඳහන් කළේ, යානයේ නියමුවන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු ගමන් කර ඇති බවයි. ඇලස්කා හමුදා බලධාරීන්ට අනුව මෙය පුද්ගලයින් අටදෙනෙකු රැගෙන ගිය සිවිල් කොන්ත්‍රාත් ගුවන් ගමනක් වන අතර, යානය කඩා වැටී ඇත්තේ දිගු දුර රේඩාර් මධ්‍යස්ථානයකට ප්‍රවේශය සපයන ගුවන් හමුදා ගුවන් පථයක් සහිත කේප් නිව්එන්හැම් ගුවන් තොටුපළ ආසන්නයේදීය.
සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් යානයේ සිටි කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති බව තහවුරු කර ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, NTSB ආයතනයේ මූලිකත්වයෙන් FAA සහ සෙසු බලධාරීන් එක්ව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

