දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම – ජෙහාන් පෙරේරා

0
4

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක, හානියට ලක් වූ ප්‍රදේශවලට පෞද්ගලිකව ගොස් ශක්තිමත් නායකත්වයක් පෙන්නුම් කර ඇත. ඔහු ජනතාව හමුවී, ඔවුන්ට සවන් දී, ඔවුන්ට බලාපොරොත්තුවක් සහ දිරිගැන්වීමක් ලබා දී ඇත. සැබෑ නායකයකු දුක් වේදනා සහ කටුක කාලවලදී ජනතාව සමඟ සිටී. නායකයන් බොහෝවිට සාමාන්‍ය පුරවැසියන්ගේ දෛනික අරගලවලින් බොහෝ දුරස්ව සිටින දේශපාලන සංස්කෘතියක, ජනාධිපතිවරයා ජනතාව අතර සිටීම සැනසීම, විශ්වාසය සහ මානසික ශක්තිය ගෙන එයි.

May be an image of one or more people and text that says 'ESTERDA NOW WNOW MURKU Piga'
අන්තර්ජාතික ප්‍රජාව රජය කෙරෙහි විශ්වාසය තබා ඇති අතර, ඉක්මන් සහයෝගය ලබාදීමට එක්වී ඇති බව පෙනේ. ඉන්දියානු සහ ඇමරිකානු හෙලිකොප්ටර් යානා ගුවන් ප්‍රවාහනයට උදව් කළ අතර, බොහෝ රටවල් සහන සැපයුම් එවමින් සහාය පළකළේය. කුඩා මාලදිවයිනේ ජනතාව පවා උදව් කිරීමට මුදල් එකතු කළහ. මෙම සහයෝගය ශ්‍රී ලාංකිකයන්ට තමන් ගෝලීය පවුලේ කොටසක් බව හැඟීමක් ඇති කර තිබේ. මෑත අතීතයේ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් හුදෙකලාවට වඩා මෙම වේගවත් හා පුළුල් ප්‍රතිචාරය බෙහෙවින් වෙනස් ය.


ශ්‍රී ලංකාව කෙරෙහි ඇති අන්තර්ජාතික හොඳහිතේ පැහැදිලි ලකුණක් වන්නේ රට තුළ වෙසෙන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් හදිසි සහන සඳහා ලබාදෙන පෞද්ගලික පරිත්‍යාගයන් ය. මෙම ක්‍රියාමාර්ග නිල රාජකාරිවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව කෙරෙහි පෞද්ගලික විශ්වාසය පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද දිගු කාලීනව රටට සහාය දැක්වීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මෙයින් පෙනීයන්නේ හදිසි ආධාර යනු එක්වරක් පමණක් ලබාගත හැකි ක්‍රියාමාර්ගයක් නොව, අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාව සඳහා වන පළමු පියවරක් බවයි.

සමතුලිත ප්‍රකාශය

අද ලෝකයේ බොහෝ රටවල් පොදු ගෝලීය ඉලක්ක වෙනුවට තමන්ගේම අවශ්‍යතා කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරයි. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සෑම පාර්ශ්වයකින්ම සහයෝගය ලබාගැනීමට සමත් වී තිබේ. එකිනෙකාට ප්‍රතිවාදීන් වන රටවලින් පවා ශ්‍රී ලංකාවට උපකාර ලැබී තිබේ. මෙම අසාමාන්‍ය සහයෝගයෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකාව එක් බලවතෙකුට එරෙහිව තවත් බලවතකු වෙනුවෙන් පෙනීසිටීමට උත්සාහ නොකරන බව අනෙකුත් රටවල් විශ්වාස කරන බවයි. ඒ වෙනුවට, ඔවුන් ශ්‍රී ලංකාව දකින්නේ ස්ථාවරත්වය, සියල්ලන් පාලනයට ඇතුළත් කිරීම සහ වගකිවයුතු නායකත්වය සමඟ නැවත ගොඩනැගීමට උත්සාහ කරන රටක් ලෙසයි.

ජනාධිපති අනුර දිසානායක ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් නිව්ස්වීක් සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් නැවත නැවතත් පැවසීම වටී. එක් කෙටි ඡේදයකින්, ශ්‍රී ලංකාව සඳහා දිගු කලක් අදාළ විය හැකි විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයක් ඔහු පැහැදිලිව සඳහන් කළේය. නිව්ස්වීක් ජනාධිපතිවරයාගෙන් මෙම ප්‍රශ්නය ඇසුවේය:
“ශ්‍රී ලංකාව චීනය විසින් ගොඩනඟන ලද යටිතල පහසුකම්, ඉන්දියාවේ කලාපීය භූමිකාව සහ එක්සත් ජනපදයේ ආර්ථික බලයෙන් බලපෑම් ලබයි. ශ්‍රී ලංකාවට එහි විදේශ ප්‍රතිපත්තිය තුළ සැබවින්ම කොපමණ ස්වාධීනත්වයක් තිබේද, සහ ශ්‍රී ලංකාව මෙම රටවල් සමඟ සබඳතා සමතුලිත කරන්නේ කෙසේද?”

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා බවත්, කිලෝමීටර් 24 ක පමණ මුහුදකින් පමණක් වෙන් වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ දිගුකාලීනව බෙදාගත් ශිෂ්ටාචාරයක් සහ ඉතිහාසයක් ඇති අතර, ශ්‍රී ලංකාවේ ජීවිතයේ සෑම කොටසක්ම පාහේ යම් ආකාරයකින් ඉන්දියාවට සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දුන් සෑම අවස්ථාවකම, උදව් කළ පළමු රට ඉන්දියාවයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා, සංචාරකයන්ගේ විශාලතම ප්‍රභවය සහ වැදගත් ආයෝජකයෙකි. චීනය ශ්‍රී ලංකාවේ තවත් සමීප සහ උපායමාර්ගික හවුල්කරුවෙකි. දෙරටේ රජයන් අතර සහ දේශපාලන පක්ෂ අතර දිගු ඓතිහාසික සම්බන්ධතාවක් ඇත. වෙළඳාම, ආයෝජන සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඔවුන්ගේ සහයෝගීතාවය ශක්තිමත් ය. ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟද ශක්තිමත් සහ පුළුල් සබඳතා ද ඇත. ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වන අතර, රටවල් දෙක ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බෙදාගන්නා අතර නීති මත පදනම් වූ අන්තර්ජාතික පද්ධතියකට සහාය දක්වයි. ශ්‍රී ලංකාව මෙම සබඳතා එකිනෙකාට එරෙහිව සමතුලිත කළ යුතු දෙයක් ලෙස නොසලකන බව ජනාධිපතිවරයා පැවසීය. මෙම සියලු සබඳතා වැදගත් වේ. ශ්‍රී ලංකාව සෑම කෙනකු සමඟම කටයුතු කරන්නේ එකම පැහැදිලි ඉලක්කයක් ඇතිවය. එනම්, ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගොඩනැගීම සහ සැමට වඩා හොඳ ලෝකයක් සඳහා දායක සඳහාය.

පුළුල් ගැටළු

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම, විශේෂයෙන් සැමගේ යහපත සඳහා සැම සමඟ වැඩකිරීමේ අදහස, වත්මන් අර්බුදය අතරතුර ඉතා වැදගත් වේ. සියලුම ප්‍රධාන හවුල්කාර රටවල් එකවර ශ්‍රී ලංකාවට උදව්කරන බව ඔස්සේ පෙන්නුම් කරන්නේ, ශක්තිමත් ආපදා ප්‍රතිචාරයක් තුළින් ඇතිවන හොඳහිත වැඩි දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික සහයෝගයකට හේතුවන බවයි. රට තුළ, රජය සිවිල් සමාජයෙන් සහයෝගය ඉල්ලා සිටීමට සහ එය ලබාගැනීමට ද සමත් වී ඇත. සිවිල් සමාජ කණ්ඩායම් සාමාන්‍යයෙන් ප්‍රධාන ධාරාවේ සංවර්ධනයෙන් බැහැරව සිටින ආන්තික පුද්ගලයන් සහ ප්‍රජාවන් ඇතුළත් කිරීමෙන් හිඩැස් පිරවීමට කටයුතු කරයි.

අර්බුදකාරී කාලවලදී සිවිල් සමාජ සංවිධාන සැමවිටම ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. ඔවුන් බොහෝවිට රජයේ ආයතනවලට ප්‍රවේශවීමට අපහසු ප්‍රජාවන් වෙත ළඟාවේ. සිවිල් සමාජ සංවිධාන සමඟ පැවැති හමුවකින් පසු, ජනාධිපතිවරයා ඔවුන්ගේ සහයෝගය ඉල්ලා සිටි අතර, ඔවුන්ට ස්වාධීනව ක්‍රියාකිරීමට නිදහස ඇති බවට සහතික විය. මෙයින් පසුව, ගංවතුරෙන් පීඩාවට පත් සියලුම ප්‍රදේශවල සිවිල් සමාජ කණ්ඩායම් බලමුලු ගැන්වීය. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් හදිසි ප්‍රතිචාර සඳහා සිවිල් සමාජ සාමූහිකයක කොටසක් ලෙස එක්ව කටයුතු කළහ. සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගැනීම එක් වැදගත් මුලපිරීමක් විය. විවිධ සිවිල් සමාජ කණ්ඩායම්වල ස්වේච්ඡා සේවකයෝ මෙම තොරතුරු රැස්කිරීම සඳහා රට පුරා සංචාරය කළහ. සහන සේවා උපකල්පනවලට වඩා සැබෑ අවශ්‍යතා මත පදනම් වූ බවත්, කටයුතු සංකීර්ණ වීම අඩුකළ බවත්, එසේම උපකාර වඩාත් පීඩාවට පත්වූවන්ට ලැබෙන බවට සහතික කිරීමටත් මෙය උපකාරී විය.

සුළිකුණාටුවෙන් පසු නැවත ගොඩනැගීම කෙරෙහි රජය අවධානය යොමුකළ යුතු වුවද, මෙය පශ්චාත් යුධ ගැටළු විසඳීමෙන් අවධානය වෙනතකට යොමුනොකළ යුතුය. මෙම ජාතික ගැටළු විසඳීමට අවශ්‍ය හැකියාව සහ වටිනාකම් දෙකම රජය සතුව ඇත. සුළිකුණාටුවෙන් පසු නැවත ගොඩනැගීම සහ 2009 දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් ඉතිරි වූ ගැටළු සමඟ කටයුතු කිරීම අතර සමානකම් තිබේ. පසුගිය පාලනයන් මෙම ගැටළු නිසි ලෙස විසඳීමට අපොහොසත් වීම නිසා අන්තර්ජාතික ප්‍රජාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ශ්‍රී ලංකාව පිළිබඳව නැවත නැවතත් කනස්සල්ල පළකර තිබේ. මෙම ඉතිහාසය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික කීර්තිනාමයට හානිකර ඇති අතර, අනෙකුත් රටවලින් ලැබෙන සහයෝගය සම්පූර්ණයෙන්ම භාවිත කිරීමේ හැකියාව සීමාකර ඇත.

අවශ්‍ය හදිසිභාවය

අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි මහත් හොඳහිතක් පෙන්වන මොහොතක, අනෙකුත් රටවලින් උගත් පාඩම්වලින් සහ ඔවුන් දැන් ලබාදෙන සහයෝගයෙන් රට ප්‍රයෝජන ගත යුතුය. ජනාධිපති අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය, සියලුම පුරවැසියන්ට එක හා සමානව සලකන, ජාතිවාදී නොවන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට පොරොන්දු වී තිබේ. එක්සත් රාජධානිය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, කැනඩාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල අත්දැකීම්වලින් පෙනීයන්නේ ජනවාර්ගික ප්‍රජාවන් අතර ආතතීන් ප්‍රජාවන් අතර බලය බෙදා නොගෙන, විශේෂයෙන් බලය බෙදාහැරීම හරහා විසඳාගත නොහැකි බවයි. විවිධත්වය සමඟ එකමුතුකම සාර්ථකව සමතුලිත කර ඇති රටවල් එසේ කර ඇත්තේ, එය තාවකාලික හෝ එක්වරක් පමණක් කළ හැකි විසඳුමක් ලෙස සැලකීමෙන් නොව, ඔවුන්ගේ පාලන ක්‍රමවලට එය ඇතුළත් කර ගොඩනඟා ගැනීමෙනි.

අන්තර්ජාතික ප්‍රජාවේ දිරිගැන්වීම සහ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාවට දැන් වෙනත් රටවලින් ඉගෙන ගැනීමට දුර්ලභ අවස්ථාවක් ලැබී තිබේ. ජනතාවගේ යහපැවැත්ම සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව සිවිල් සමාජය ද පෙන්වා දී ඇත. කෙසේවෙතත්, බොහෝ බරපතල ගැටළු තවමත් විසඳී නොමැත. ජනතාව තම ඉඩම්වල නැවත පදිංචි කිරීම, ආදරණීයයන් සහ නිවාස අහිමි වූ පවුල්වලට වන්දි ගෙවීම සහ අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍යය සොයාගැනීම වැනි ගැටළු තවමත් ගැඹුරු වේදනාවක් සහ කනස්සල්ලක් ඇතිකරයි. මෑතකදී සුළිකුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට දැනෙන දුක් වේදනා හා සමාන ආකාරයටම, උතුර හා නැගෙනහිර යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවට මෙම ගැටළු අඛණ්ඩව බලපානු ලබයි.

නොවිසඳුණු ගැටළු කාලයත් සමඟ පහව යන්නේ නැත. ඒවා නැවත නැවතත් පැමිණේ. විශේෂයෙන් දේශපාලන වෙනස්කම් හෝ සමාජ පීඩනය අතරතුර, ඒවා ජාතික සමගිය දුර්වල කරයි. රජය දේශගුණික විපර්යාස ආශ්‍රිත සංවර්ධනය සඳහා පමණක් නොව, වාර්ගික සමගිය සහ ජාතික සංහිඳියාව සඳහා ද කල්පවතින විසඳුම් සෙවිය යුතුය. දිගු කලක් ප්‍රමාද වූ දේශපාලන ප්‍රතිසංස්කරණ ආමන්ත්‍රණය කරන අතරම ආපදා ප්‍රතිසාධනය සඳහා ඉක්මනින් ක්‍රියාකළ යුතුය. 2004 සුනාමියෙන් පසු ඉන්දුනීසියාවේ ආචේහි දී, සියලු දේශපාලන පාර්ශවයන්ගේ සහාය ඇතිව මෙය සාර්ථකව සිදුකරන ලදී. ශ්‍රී ලංකාවත් එසේ කළහොත්, ජාතික ඛේදවාචකයක් කල්පවතින එකමුතුව සහ ශක්තිමත් ආර්ථික වර්ධනය සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here