පරම්පරා තුනක් ඔස්සේ පවතින පැළෑඳ මුස්ලිම් පල්ලිය හා පන්සල් වල සම්බන්ධතාවයේ ඉතිහාසය

0
30

(මොහොමඩ් නස්රාන්)

බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මැතිවරණ බල ප්‍රදේශයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම පැළෑඳ නම් ග්‍රාමය පිහිටා තිබේ. මෙම පැලෑද පුරවරය ඓතිහාසික වීදිය බණ්ඩාර සෙන්පතියා ජීවත් වූ පුරවරයයි. දේවානම්පියතිස්ස යුගයේ සිට මේ ප්‍රදේශය හඳුන්වා දී ඇත්තේ දිගම්පතන කෝරළය ලෙසය.

පැළෑඳ පුරාණ රජමහා විහාරය හෙවත් වීදිය බණ්ඩාර රජතුමාගේ රාජධානිය පිහිටා ඇති ස්ථානය මහා කඳුයායකින් වටවී තිබේ. ඒමෙන්ම මෙම ප්‍රදේශය වට වී ඇත්තේ පැළැන්ද ගගෙන් සහ මගුරු ගගෙන් ය. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම දියඇලි ප්‍රමාණයක් ඇත්තේ පාලින්ද නුවරය. එමෙන්ම වැඩිම ගංගා ප්‍රමාණයක් මෙන්ම විශාල වනගහනයකින් ද පාලිදනුවර සමන්විත වේ.

පැලෑද පුරවරය ඓතිහාසික වශයෙන් අතිශය වැදගත් පුරවරයක්. වීදිය බණ්ඩාර ලංකා ඉතිහාසයේ වීර චරිතයක් වන අතර ඔහු දක්‍ෂ සටන්කාමියෙක්ද වේ. වරෙක පෘතුග්‍රීසින් විසින් සිරගතකර සිටි වීදිය බණ්ඩාර උපායශිලීව හිරෙන් පැන පැලෑඳට පැමිණ බළකොටුවක් හදා ගත්තා. එතැන් සිට ඔහුගේ බලකොටුව වූයේ පැලෑදයි.

මේ ඉතිහාසයට පැලෑද පුරවරයේ පිහිටා තිබෙන පැලෑද රජමහා විහාරය සාක්ෂි ලබාදෙයි. එදා වීදිය බණ්ඩාර කුමාරයා සමග විශාල පිරිසක් මේ පැලෑද පුරවරයට පැමිණ ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔහු සමග පැමිණි මුස්ලිම් ජනතාව පැලෑඳ විවිධ ප්‍රදේශයන්හි පදිංචි විය. ඔවුන්ගේ ජනාවාස පැලැන් ගඟෙන් එගොඩ කොටසේ පිහිටුවාගෙන ඇත.

වීදියබණ්ඩාර කුමාරයා සමග පැමිණි මුස්ලිම් ජනතාවගෙන් වැඩි පිරිසක් ගඟෙන් එගොඩ පදිංචි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රථම මුස්ලිම් දේවස්ථානය පිහිටුවා ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එම දේවස්ථානය මුලින්ම මැටි වලින් සකස් කර වහලයට බටකොල සෙවිලි කර ඇති අතර එය වර්තමානය වන විට සිමෙන්තියෙන් අලංකාරවත් අයුරින් ගොඩ නගා ඇත. මැටි වලින් මෙම දේවස්ථානය සකස් කර ආගමික වතාවත් ඉටුකළ වර්’ෂය නිශ්චිත ලෙස සඳහන් නොවේ.

පැලෑඳ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගත් කළ වීදියබණ්ඩාර කුමාරයා සමග පැමිණි ජනතාව දක්වා මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය දිව යනවා. වර්’තමානය වන විට පවුල් දෙසීයකට අධික මුස්ලිම් ජනතාවක් මෙම ප්‍රදේශයේ ජීවත්වේ.

අතීතයේ මෙම මුස්ලිම් දේවස්ථානය් ආගමික කටයුතු හා පරිපාලන කටයුතු සිදුවීගෙන ගියත්, යම් කාලයක් ගිය පසු පල්ලියේ කටයුතු භාරකරුවෙකු විසින් සිදුකිරීම ඇරැඹී ඇත. එවකට සිටි අල්හාජ් කෆූර් මහතා විසින් පල්ලියේ ප්‍රථම භාරකාර කටයුත්ත සිදුකරගෙන ගොස් ඇති අතර එවක තිබුණේ මැටිවලින් ගොඩනගන ලද ඉතාමත් කුඩා දේවස්තානයකි. එකල පාසල පිහිටා ඇත්තේද මෙම පල්ලිය ඉදිරිපිටය. පල්ලිය ඉදිරිපට තිබුණු පාසල වර්තමානය වන විට පාසල තිබෙන ස්ථානයට ගෙන ඒමටද ඔහු කටයුතු කර ඇත. මෙම පාසලේ ප්‍රථම මුස්ලිම් සිසුවා වන්නේ මොහොමඩ් සාලි මහතායි. (වර්’තමානය වනවිට මුස්ලිම් හා දමිළ සිසුන් මෙම පාසලේ ඉගෙනුම ලබයි)

අල්හාජ් කෆූර් මහතාගෙන් පසුව පල්ලියේ භාරකාර කටයුතු සිදුකරගෙන යනු ලැබුවේ නෛනා මරික්කාර් නොහොත් (තන්ඩල් අපචා) මහතා විසිනි. ඔහුගෙන් පසුව අල්හාජ් හනීෆා මහතා විසින් මේ කටයුතු සිදුකරගෙන ගොස් ඇත.

අනතුරව හනීෆා මහතාගේ පුත් අල්හාජ් මුස්තෆා මහතා විසින් භාරකාර මණ්ඩලයේ කටයුතු සිදුකරගෙන යන ලද අතර ඔහුගේ කාලයේදී මැටිවලින් තිබූ පල්ලිය දැඩි දුෂ්කරතා මැද ගඩොල් වලින් සකස් කර ඇති අතර ඉදිරිපස ඇතුළත්වීමේ කොටසද කැටයම් සහිතව ඉදිකර ඇත. එම කැටයම් සහිත කොටස ඉදිකර දැන් වසර 53ක් පමණ ගතවෙනවා. තවද මොහුගේ කාලයේදී මෙම පල්ලිය සඳහා ඉඩම් ලබාගැනීම් ද සිදුකර ඇති අතර පල්ලියේ ආදායම් වර්දනය සදහා තේ වගා කටයුතුද ආරම්භ කර තිබෙනවා. තවද බදුරලිය පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ද මෙතුමන් විශාල දායකත්වයක් දක්වා ඇත.

අනතුරුව අල්හාජ් මර්සූක් මහතා විසින් මෙම පල්ලියේ භාරකාරත්වය බාරගෙන කටයුතු කර ඇත. මෙතුමන්ගේ කාලයේදී මෙම පල්ලියේ මැටිවලින් තිබෙන කොටසත් සමග නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා එය ඉදිකර ඇත. තවද පල්ලියට අවශ්‍ය ආදායම් වෙනුවෙන් තේ වතු සංවර්ධනය ද සිදුකර ඇති අතර පොල් වගාව වෙනුවෙන්ද දායකවී ඇත. තවද පැලෑඳ ප්‍රදේශයට පන්සලට සහ පල්ලියට විදුලිය ලබාගැනීමටද මොහු දැඩි ලෙස කැපවී ඇත. එවකට අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සමග එක්ව මොහු සහ අපගේ රජමහා විහාරයේ ලොකුහාමුදුරුවන් වන ගරුතර දේවමුල්ලේ කළ්‍යාණවංශ හිමියන් ඊට විදුලිය ලබාගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත.

මෙම පල්ලිය පිහිටා ඇති ප්‍රදේශයේ එගොඩ මොගොඩ යා කිරීමට ඈත අතීතයේ සිටම මුලින්ම තිබූනේ ඒ දණ්ඩකි. අනතුරුව අඩි තුනේ පාලමක් සකස්වුණි. එහෙත් එය 2007 වසරේදී සිදුවූ ගංවතුර ව්‍යසනයෙන් මෙම පාලම කැඩී යන ලදි. අනතුරුව ඒ වෙනුවට නව (වර්තමානයේ පවතින) පාලම ලබාගැනීමට ප්‍රබල උත්සාහයන් දරා එය 2008 වසරේදී සාර්ථක කරගැනීමට මෙතුමන් විශාල වශයෙන් වෙහෙස මහන්සිවී කටයුතු කරන ලදි.

මෙම පල්ලියේ වර්තමානයේ පවතින තේ වත්ත සහ සුසාන භුමිය සහිත ඉඩම එදා මිලදී ගැනීම වෙනුවෙන් අල්හාජ් මුස්තෆා මහතා, අල්හාජ් ඒ. ඩබ් නදීම් මහතා,අල්හාජ් මවුසූක් මහතා යන අයවලුන් විශාල ලෙස පුද්ගලික මුදල් දායකත්වයක් ලබාදී ඇත.

නදීම් මහතා

මුස්තෆා මහතා

 

මර්’සූක් මහතා

වසුර්’දන් මහතා

තවද අල්හාජ් වසුර්දීන් මහතාද පල්ලියට ඔහු සතු ඉඩම ලබාදී ඇත. අල්හාජ් නදීම් මහතා සහ අප පන්සල අතර සම්බන්ධය පරම්පරා තුනක් ඔස්සේ තවමත් ශක්තිමත්ව පවතියි. නදීම් මහතා අතීතයේ දී පන්සල වෙනුවෙන් විදුලිය සඳහා ජෙනරේටර් යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ගැන අදටත් අපේ ලොකුහාමුදුරුවන් ගෞරවයෙන් යුතුව මතක් කර සිටී. අතීතයේ සිටම පන්සල සහ පල්ලියත් ගමේ සිංහල මුස්ලිම් පුද්ගලයන් අතරත් හොද අවබෝධයක් තිබී ඇත.

වීදියබණ්ඩාර රජ සමයේ සිට අද දක්වා පැලෑඳ සිංහල මුස්ලිම්වරු අතර ඇත්තේ අන්‍යයෝන්‍ය බැඳීමකි.අවබෝධයකි. සහෝදරත්වයකි. එයට කදිම නිදසුන අපේ වත්මන් රජමහා විහාරාධිපති හිමියන්ය. ගරුතර දේවමුල්ලේ කල්‍යාණවංශ නාහිමියන් මේ අපූර්වතම බැඳීමේ සංකේතයයි. උන්වහන්සේට පෙර අපවත්වූ අපේ ලොකුහාමුදුරුවන් සමගද ලොකු බැඳීමක් මුස්ලිම් ජනතාව අතර තිබී ඇත.

මේ බැදීම්වල මේ එකමුතුකම්වල ශක්තිය නිසා තමයි අදටත් රටේ මොන යම් ප්‍රදේශයක කිසියම් හෝ ජාතිවාදී ආගම්වාදී ගැටලුවක් ඇතිවුවත්, මගේ ගම තුළ අද වනතුරු කිසිදු වචනයකින් හෝ සිතුවිල්ලකින් හෝ එවැනි වැරැද්දක් සිදුනොවෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here