උස්තාද් මොහොමඩ් උවයිස් අස්-සයිලානි: ශ්‍රී ලංකාවේ ප්‍රථම සහතිකලත් අරාබි අක්ෂර කලා ශිල්පියා

0
36

(ජාබිර් නළීමී විසිනි)

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය කලාත්මක හා බුද්ධිමය භූ දර්ශනයේ නිරූපිත චරිතයක් ලෙස උස්තාද් මොහමඩ් උවෙයිස් අස්-සයිලානි තවමත් වැජඹෙයි. දිවයිනේ පළමු සහ එකම සහතිකලත් අරාබි අක්ෂරකලා ශිල්පියා ලෙසින් උස්තාද් උවෙයිස් වඩාත් ප්‍රකටය. කුෆික් අක්ෂර කලාව විෂයයෙහි ඔහුගේ සහඩ කුසලතාවය සහ අරාබි අක්ෂර කලාව සංරක්ෂණය කිරීම සඳහා ඔහු ලබා දෙමින් සිටින නිහඬ කැපවීම අතිශය ප්‍රශංසනීයය. ඔහුගේ මෙම දායකත්වය පරම්පරා ගණනාවකටම මෙම කලාව පිළිබඳ උනන්දුව ඇති කර තිබේ.

තරුණ මුස්ලිම් සංගමයේ හමුව

කොළඹ දෙමටගොඩ පාරේ පිහිටි ශඵඵ් හෙවත් තරුණ මුස්ලිම් සංගමයේ ගොඩනැගිල්ලේ පැවති අරාබි අක්ෂර කලා ප්‍රදර්ශනයේදී බොහෝ කලකට පසු මට උස්තාද් උවෙයිස් මුණගැසුණු විට මට ඉමහත් සතුටක් ඇති විය. එදින ප්‍රදර්ශනයෙහි උස්තාද්වරයාගේ අපූරු නිර්මාණ දහසයක් මහජන දැක්ම සඳහා තබා තිබුනි. එය සැබවින්ම ඔහුගේ කලාත්මක දක්ෂතාවය පිළිබිඹු කළ අගනා අවස්ථාවක් විය.

වසර ගණනාවක් තිස්සේ, ඔහුගේ දායකත්වය සනිටුහන් කරමින් ප්‍රදර්ශනයක් සඳහා අක්‍ෂර කලා නිර්මාණ එකතුවක් නිෂ්පාදනය කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටි නමුත් එම අදහස කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. උස්තාද්වරයා සැමවිටම එම යෝජනාව නිහතමානී ලෙස ප්‍රතික්‍ෂේප කළේය. එවන් තත්වයක ඔහුගේ විශිෂ්ඨ කෘතින් 16 ක් ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබීම මෙන්ම ඔහුද එහි සිටීම මට ප්‍රීතිය ගෙන දෙන්නක් විය. ඒ සෑම නිර්මාණයක්ම ඔහුගේ සංලාක්ෂණික නිරවද්‍යතාවය, සංයමය සහ අධ්‍යාත්මිකය ගැඹුර පිළිබිඹු කළේය.

නොනිමි දායකත්වය

1957 ඔක්තෝබර් 23 වන දින කොළඹ කොම්පඤ්ඤවීදියේ උපත ලැබූ මොහමඩ් උවෙයිස්, කොම්පඤ්ඤවීදියේ සාහිරා විද්‍යාලයෙන් (වර්තමාන ටී.බී. ජායා මහාවිද්‍යාලය) සිය විධිමත් අධ්‍යාපනය ආරම්භ කළේය. පසුව 1973 ඔක්තෝබර් මාසයේදී බේරුවල ජාමියා නළීමියා විද්‍යායතනයේ සිදු කරන ලද පළමු සිසු බඳවා ගැනීමේදී තරුණ උවෙයිස්ද එම විදුහලට එක් වීමේ වරම ලද්දේය. ඔහු තම මුල් අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙන් වුවද, පසුව ඔහු ජාමියාහි දෙමළ සහ අරාබි භාෂාද ඉගෙන ගත්තේය 1975 සහ 1978 අතර කාලය තුළ දෙමළ බසින් කවි ලිවීම පිළිබඳවද තරුණ උවෙයිස් ප්‍රසිද්ධ විය.

පසුව 1978 වසරෙහි මිසරයේ කයිරෝ නුවර පිහිටි ලෝ ප්‍රකට හා සියවස් දහයක් ඉපැරණි අල්-අස්හර් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උවෙයිස්ට හිමි විය. එම විශ්වවිද්‍යයාලයෙන් 1983 වසරෙහි අරාබි භාෂාව සහ තර්ක ශාස්ත්‍රය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් උස්තාද් උවෙයිස් ලබා ගත්තේය. එනමුත් ඔහු වඩාත් කැපී පෙනුනේ පශ්චාත් උපාධිය ගැන ඔහු ගත් තීරණය නිසාය. ශ්‍රී ලංකාවට ආපසු පැමිණිම වෙනුවට, ඔහු කයිරෝවේ තවත් වසර හතරක් (1983-1987) අල්-කලීල් අගා අක්ෂර කලා පාසලේ අධ්‍යාපනය ලබා, අරාබි අක්ෂර කලාව පිළිබඳ නිල වශයෙන් සහතික ලත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

පසුව සෞදි අරාබියට ගිය උස්තාද් උවෙයිස් 2022 වසර වන තෙක්ම භාෂා පරිවර්තකයෙකු සහ ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. තම මුළු ජීවිත කාලය පුරාම ඔහු අරාබි අක්ෂර කලාව සහ ඡායාරූපකරණයේ ගැඹුරින් නිරත වූ නමුත් ඒ කිසිවකින් ආර්ථික වාසි උපයන්නට ඔහු සිතුවේ නැත. ඔහුගේ එම හැකියා පැවතියේ ගැඹුරු පෞද්ගලික හා අධ්‍යාත්මික ප්‍රකාශන ලෙස පමණි. ඔහු ඉස්ලාමීය නාම සම්ප්‍රදාය පිළිබඳ පර්යේෂණ කිරීමටද උනන්දු වු අතර ජපන් ඔරිගාමි කලාවද උස්තාද්වරයාගේ විනෝදාංශයක් විය.

සමාජ දායකත්වය

1990 දශකයේ සිට, උස්තාද්වරයා තම බිරිය සහ දරුවන් දෙදෙනා සමග නිශ්කලංක දිවියක් පතමින් කොළඹ කොල්ලුපිටියේ පදිංචියට ගිය නමුත් අක්ෂර කලාව ගැන උන්නදුව දැක්වු බොහෝ අය ඔහුව හමු වී එම කලාව තමන්ට ප්‍රගුණ කරන මෙන් ඉල්ලා සිටියහ. එසේ එක් වු ඔහුගේ සිසුන් අතර: මොහොමඩ් ෂකීබ්, මොහොමඩ් රෆීස්, ජුනයිඩ් නසීර්, උස්තාස් මජීම් සහ උස්තාද් සිල්මි යන ප්‍රකට කලාකරුවන්ද වෙති.

2017 වසරෙහි ශ්‍රී ලංකා අරාබි අක්ෂර කලා සංගමය උස්තාද් උවෙයිස් විසින් පිහිටුවන ලද අතර එවක් පටන් එයට ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සහ සංගමයේ දැක්මට මඟ පෙන්වමින් එහි සාමාජිකයින්ට ඔහුගේ දශක ගණනාවක දැනුම සහ තාක්ෂණය මගින් දායකත්වය ලබා දෙමින් සිටියි.

කලාත්මක හා සංස්කෘතික දායකත්වයන්

උස්තාද් උවෙයිස්ගේ මුල් කාලීන සහ වඩාත්ම සංකේතාත්මක කෘතිවලින් එකක් වූයේ ජාමියා නළීමියා නැණසැලේ නිල සඟරාව වන ඉස්ලාමිය සින්දනයි හි දෙවන කලාපය සඳහා වූ අක්ෂර කලා නිර්මාණයයි. එය ගත වු වසර 50 ක් මුළුල්ලේ එම සගරාවල කවර සරසමින් ශිෂ්‍ය අක්ෂර කලා නිමැවුම් සම්ප්‍රදාය තහවුරු කරමින් සිටියි. එවක් පටන් උස්තාද් උවෙයිස් සඟරා සහ පොත්වල කවර ගණනාවකට සිය කුසලතාවය මගින් දායක විය.

පසුගිය දින කොළඹ තරුණ මුස්ලිම් සංගමයේ පැවති ප්‍රදර්ශනය ඔහුගේ නිහඬ එහෙත් ප්‍රබල උරුමය ලොවට සිහිපත් කරන්නක් විය. ප්‍රදර්ශනයේ තබා තිබූ ඔහුගේ කෘති දහසය කුෆික් ජ්‍යාමිතියේ සහ අධ්‍යාත්මික අර්ථයේ අලංකාරය මූර්තිමත් කරන ඔහුගේ සුවිශේෂී විලාසය, ව්‍යුහගත, භාවනාමය සහ ගෞරවය මනා ලෙස පිළිබිඹු කළේය.

උස්තාස් උවෙයිස්ව පුද්ගලිකව දන්නා අය බොහෝ විට ඔහුව විස්තර කරන්නේ විනයගරුක සහ ගැඹුරු ප්‍රතිපත්තිගරුක කෙනෙකු ලෙසිනි. කලාව සහ ආචාර ධර්ම පිළිබඳ උසස් ප්‍රමිතියේ ආරක්ෂකයෙකු ලෙස ඔහු ප්‍රකට වුවද ඒ කිසිවක් ඔහුගේ චාම් සහ නිහතමානි බව ඔහුගෙන් උදුරා ගත් බවක් පෙනෙන්නට නැන.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here