BRICS  සමුළුව රුසියාවේ පැවැත්වීමෙන් පුටින් අපේක්‍ෂා කළේ කුමක්ද?

0
130

NEWSNOW | – වාර්ෂික BRICS  සමුළුව රුසියාවේ කසාන් නගරයෙහි ඔක්තෝම්බර් 23 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙම තෙදින සමුළුව දශක කිහිපයකින් රුසියාවේ පැවැත්වෙන විශාලතම ලෝක නායකයින්ගේ රැස්වීම වනු ඇති අතර මෙය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහය ලබන යුක්‍රේනය සමඟ රුසියාව දරුණු සටනක නිතර වී සිටින විටෙක පවත්වනු ලැබීම මෙහි විශේෂත්වයයි.

BRICS යනු කමක්ද?
BRICS යන වචනය සැදී ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චී්නය සහ දකුණු අප්‍රිකාව යන රවල මුල් අකුරු එක් කිරීමෙනි.
මෙම සංවිධානය 2006 වසර උක්ත රටවල් 06 මුලික වී ආරම්භ කරන ලද්දේ එක්සත් ජනපදය විසින් තමන්ටම ආරූඩ කර ගත් ජගත් පොලිස්පති’ භූමිකාවේ සීමාව ඉක්මවමින් තිබෙන උමතුව පාලනය කිරීමේ අරමුණින්ය. මෙය මෙම සමුළුව පවත්වනු ලැබූ 16 වැනි වාරයයි.

පසුගිය 2023 වසරෙහි  සංවිධානයේ සාමාජික රටවල් ලෙස මිසරය, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් – එම රටවල ඉල්ලීම අනුව බඳවා ගන්නා ලදි. සෞදි අරාබියද මෙය ගැන සලකා බලමින් සිටියි.
ආජන්ටිනාවටද මෙම සංවිධානයේ සාමාජිකත්වය සඳහා ඇරයුම් කරන ලද නමුත් පසුගිය 2023 දෙසැම්බර් එහි පැවති ජනාධිපතිවරණයෙන් බටහිර ගැති ජෙවියර් මිලෙයි ජය ගැනීමත් සමගම බටහිර රටවල් සමඟ සබඳතා ශක්තිමත් කරන බවට පොරොන්දු වූ ඔහු BEICS සංවිධානයේ එම ආරාධනාව ප්‍රතික්ෂේප කළේය.

එමසමුළුවේ පළමු දිනයෙහි ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි, චීන ජනාධිපති ජී ජින්පිං, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඇතුලුව රටවල් විස්සක පමණ ප්‍රධානීන් එයට පැමිණි සිටියහ. පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යවල ජනාධිපති සයිද් අල් නහ්යාන්. ඉරාන ජනාධිපති මසුද් පෙසෙකියාන්. මිසර ජනාධිපති එල් සිසී ඉතියෝපියානු අගමැති අබී අහ්මද් පසුව සමුළුවට සහභාගී වීම සඳහා රුසියාවට පැමිණියහ.

BRICS සමග සබඳතා ශක්තිමත් කර ගන්නට කැමති තුර්කියියේ ජනාධිපති රෙසෙප් එර්ඩෝගන් මෙන්ම වියට්නාම් අගමැති ෆාම් මිං චිංද සමුළුවට පැමිණි සිටියහ. කෙසේ වෙතත් BRICS සංවිධානයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාකියෝ ලූලාට සමුළුවට සහභාගී වන්නට නොහැකි වුයේ සතියකට පමණ පෙර ඔහු සිය නිවසේ සිටින විට බිම වැටී හිසට බරපතල තුවාලයක් ඇති වීම නිසාය.
මෙවර BRICS සමුළුවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ද සහභාගී වී පුටින් සමග සාකච්ඡා පවත්වා තිබේ. මෙයට යුක්රේන විදේශ කටයුතු අමාත්‍යාංශය ගුටරෙස් විවේචනය කර තම දැඩි විරෝධය පාමින් පෙන්වා දුන්නේ ගතවුනු ජූනි මස ස්විට්සර්ලන්තයෙහි පැවති යුක්‍රේනයට සහය දක්වන සාම සමුළුවකට සහභාගී වීමට කරන ලද ආරාධනය ගුටරෙස් ප්‍රතික්‍ෂේප කළ බව හා එය වෙනුවට යුද අපරාධ චෝදනා ලබා ඇති පුටින්ගෙන් ආරාධනය පිළිගෙන රුසියාවට ගොස් ඇති බවයි. මෙය සාමයේ අරමුණ ඉදිරියට ගෙන නොයන වැරදි තේරීමක් වන අතර මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කීර්’ති නාමයටද හානියකි’ යැයි යුක්රේන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

2023 මාර්තු මාසයේදී හේග් නගරයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය :  පුටින්ට එරෙහිව යුක්රේනයේ ඔහු යුද අපරාධ නකර අතට යැයි චෝදනා නගමින් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර ඇත.

සමුළුවේ න්‍යාය පත්‍රය කුමක්ද?

BRICS සාමාජිකයන් එක්සත් කරන කේන්ද්‍රීය කාරනාව වන්නේ ඔවුන්ට එක්සත් ජනපදය ප්‍රමුඛ ගෝලීය පාලන විෂයයෙහි -විශේෂයෙන්ම ආර්ථික කාරනා සම්බන්ධ- ඔවුන්ගේ නොසතුටයි.
2022 වසරෙහි යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර හා යුරෝපීය රටවල් විසින් පනවන ලද සම්බාධක ගෝලීය දකුණේ බොහෝ රටවලට තම තත්වයන් ගැන නැවත සිතා බැලීමට තුඩු දී ඇත. එක්සත් ජනපදයේ සිතැගි පරිදි තමන්ද ඉදිරියේදී කටයුතු කළහොත් එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල ඩොලර් ගිණුම් ලෙසින් තිබෙන තම වත්කම් රඳවා ගන්නට සහ එය තමන් හසුරවන්නට යොදා ගත හැකි මූල්‍ය මෙවලමක් විය හැකි තත්වය එම රටවල කණස්සල්ලට පත් කර ඇත.

එමෙන්ම ගාසාවේ යුද්ධය විෂයයෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ සගයන් කටයුතු කරන අයුක්ති සහගත හා දෙබිඩි පිළවෙතද එක්සත් ජනපදය විෂයයෙහි කළකිරීමක් ලොව බොහෝ රටවලට ඇති කර තිබේ. මෙම මානසිකත්වය එක්සත් ජනපදයට එරෙහි බලවේගයක් ගොඩ නැංවීමට එහි ප්‍රධාන ප්‍රතිවාදීන් වන රුසියාවට සහ චීනයට මග පාදා දී තිබේ. විශ්ෂයෙන් තමන්ට එරෙහිව සම්බාධක සහ ආර්ථික බලහත්කාරම් කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව නැති කළ යුතුය යන මතවාදය එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන්ට පමණක් නොව එසේ නොවන මධ්‍යස්ත රටවලටද ඇති කර තිබේ.
BRICS සංවිධානය බිහි වුයේ මෙයින් ප්‍රයෝජන ගන්නට රුසියාව චීනය වැනි රටවල් පියවර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙති. තවද වඩාත් ස්වාධීන වු සහ කිසිවෙකුට පක්‍ෂපාතීව අයුතුකම් කරන බලවතුන් පාලනය නොකරන යුක්ති ගරුක ලොවක් බිහි කිරීමද මෙහි ප්‍රධනා අරමුණකි යැයි ඔවුන් පවසති. දැනට වඩාත් පුළුල් වී ඇති BRICS සංවිධානයේ සාමාජිකත්වය ගෙන ඇති ජාතීන් ලොව ජනගහණයෙන් 45 % ක් එය නියෝජනය කරන අතර ගෝලීය දළ නිෂ්පාදිතයේ BRICS රටවල දායකත්වය 25 % ඉක්මවා ඇත. මේ අනුව BRICS යනු සෙසු කොට තැකිය නොයුතු හා තැකිය නොහැකි බලවේගයක් යැයිද දේශපාලන වියතුන් පෙන්වා දෙති.

මෙහි ප්‍රධාන පියවරක් ලෙසින් ඩොලරය මත තම රටවලට ඇති ආධීනත්වය සහ ජාත්‍යන්තර ගනුදෙනු සිදු කරන විට ඇමරිකානු බැංකු පද්ධතිය හරහා එය සිදු කිරීම අනිවාර්ය කරන ක්‍රමවේදයට විකල්පයක් නිර්මාණය කිරීමද BRICS සාමාජිකයන්ගේ තවත් ඉලක්කයකි. යම් රටක් ඇමරිකාව කරන නොසණ්ඩාල කමක් විෂයයෙහි පවා ඇමරිකාව නොසතුටු කළ විට උක්ත පහසුකම නවතා දමන නිසා එම රටට ලෝකයා සමග ගනුදෙනු කිරීමේ හැකියාවට සම්පුර්’ණයෙන්ම අඩාල වන තත්වයක් දැනට පවති.

මේ අනුව සාමාජික රටවල් අතර ගනුදෙනු කිරීමට ඩොලරයට අභියෝග කරන සුවිශේෂී මුදල් ඒකකයක් ඇති කර ගත යුතුය යැයි පළමු වරට පසුගිය වසරෙහි යෝජනා කරන ලද්දේ බ්‍රසීල ජනාධිපති ලුලා විසිනි. මෙම අදහසට ලොව ප්‍රබල ආර්ථිකයක් බවට පත් වෙමින් තිබෙන ඉන්දීයාවේ විදේශ ඇමති එස් ජෙයිශංකර්ද සිය සහය පළ කළේය.

එවන් මුදල් ඒකකයක් ඇති කරන තෙක් දැන සාමාජික රටවල් තමතමන්ගේ දේශීය මුදල් මගින් සීමාන්තර ගනුදෙනු සිදු කරන්නට පටන් ගෙන ඇත. නිදසුනකට ඉන්දියාව පෙර සේ රුසියාවෙන් හෝ චීනයෙන් භාණ්ඩ මිල දී ගැනීමට ඩොලර් යොදා ගන්නවා වෙනුවට ඉන්දීය රුපියල්වලින්ම එම ගනු දෙනු පියවන්නට පටන් ගෙන ඇත. පෙරලා රුසියාව සහ චීනයද සිය රූබල් සහ යුවාන්වලින් ඉන්දියාව සමග ගනු දෙනු කරන්නට ආරම්භ කර ඇත. මෙම තත්වය නිසා ඉදිරියේදී නිසැකයෙන්ම ඩොලරයේ ආධිපත්‍යය හීන වනු ඇති නිසා චීනය පමණක් නොව එක්සත් ජනපදයේ අඹ යහළු ජපානය පවා තමන් සන්තයේ ඇති ඩොලර් සංචිත බිලියන ගණනින් අත් හරිමින් එය වෙනුවට රත්‍රන් වැනි වටිනා ලෝහ මිලදී ගැනීම ආරම්භ කර ඇත.

ලොව රටවල් අතුරින් එක්සත් ජනපදයේ භාණ්ඩාගාර බිල්පත් වැඩියෙන්ම රඳවා සිටින රටවල් හෙවත් ඩොලර්’ වලින් සිය වත්කම් රඳවා ගෙන සිටින රටවල් දෙක වන්නේ ජපානය සහ චීනයයි.
මෙසේ සතුරන් මෙන්ම මිතුරන්ද ඩොලරයෙන් ඉවත් වීම එක්සත් ජනපදයට මරු පහරකි. ලොව රටවල් ඩොලරය කොන් කරන්නට පටන් ගැනීම නිසා ඉදිරි අනාගතයෙහි එක්සත් ජනපදයට ඇති විය හැකි ආර්’ථික හානිය සිතා ගන්නට නොහැකි තරමට අති බිහිසුණුය.

රිචඩ් නික්සන් ජනාධිපතිව සිටි 70 දශකයේ සිට තෙල් මිල දී ගැනීමට ඩොලරය අත්‍යවශය වී තිබුණු තත්වයක සහ ලොව පුරා බොහෝ ගනුදෙනු ඩොලරයෙන් සිදුවෙමින් තිබුණු තත්වයක උද්ධමනය ගැන බිය නොවී එක්සත් ජනපදය ට්‍රිලියන සංඛ්‍යාවලින් ඩොලර් මුද්‍රණය කරමින් සහ දෛනිකව බිලියන ගණනින් භාණ්ඩාගාර බිල් පත් නිකුත් කරමින් ණය ගණිමින් සිටියේය.

ලොව රටවල් සිය මහ බැංකුවල සහ භාණ්ඩාගාරවල රටේ වත්කම රන් වෙනුවට ඩොලර්වලින් රඳවා සිටින තාක් කල් එක්සත් ජනපදය උද්ධමමනය ගැන බියෙන් තොරව සිටි නමුත් මෙසේ ලොව බහුතරයක් රටවල් ඩොලරය අත් හැර විකල්ප ගනුදෙනු ක්‍රමවලට මාරු වන විට ට්‍රිලියන සංඛ්‍යාත එම ඩොලර සිය උපන්ගෙය වන එක්සත් ජනපදය කරා එන්නට පටන් ගතහොත් ලොව කිසිම රටක් මුහුණ දුන් අති භයානක උද්ධමනයකට මුහුණ දෙන්නට එක්සත් ජනපදයට සිදු වනු ඇත. එය යතාර්ථයක් වන දවස වැඩි ඈතක නොවන බව ආර්ථික හා දේශපාලන වියතුන් අනතුරු අගවති.

BRICS සමුළුව පුටින්ට වැදගත් වන්නේ ඇයි?

2022 පෙබරවාරි මස රුසියාව විසින් දියත් කරන ලද යුක්රේනය ආක්‍රමණය නිසා එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් රුසියාව හුදකලා කරන ලදි.
ආක්‍රමණය ආරම්භ වී මසකට පමණ පසු, කැනඩාව, යුරෝපා සංගමය, ජපානය, නවසීලන්තය, තායිවානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය රුසියානු බැංකුවලට මෙන්ම එරට තෙල් පිරිපහදු නිමා සහ යුධමය අපනයනවලට එරෙහිව මෙන්ම රුසියාවේ මිත්‍ර රටවලට එරෙහිවද විවිධ සම්බාධක පනවා ඇත.
මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර ඇති නිසා ලොව රටවල් කිහිපයකටම යාමට පුටින්ට නොහැකිව තිබේ. 2023 වසරෙහි BRICS සමුළුව දකුණු අප්‍රිකාවෙහි සංවිධානය කළ විට පුටින් එයට සහභාගී වීමෙන් වැළකී සිටියේය.පුටින් එසේ සහබාගී නොවුයේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටවු රෝම සම්මුතියේ පාර්’ශවකරුවෙක් වන දකුණ අප්‍රිකාව එම අධිකරණයේ නිර්දේශ අනුව කටයුතු කිරීම වගකීමක් බැවින් සහ පුටින් දකුණු අප්‍රිකාවට පැමිණයහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා මෙන් එක්සත් ජනපදය දකුණු අප්‍රිකාවට බල කරමින් සිටි නිසාය.

එසේම පසුගිය වසරෙහි නව දිල්ලියේ පැවති G20 සමුළුවටද පුටින් සහභාගී වුයේ නැත. ඉන්දියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටවු රෝම සම්මුතියේ පාර්’ශවකරුවෙක් නොවන නිසා එම අධිකරණය විසින් පුටින්ට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තුව ඉන්දියාවට අදාල නොවුවද පුටින් ඉන්දියාවට පැමිණීමෙන්ද වැළකී සිටියේය.
මෑතක පැවති ජගත් නායකයන් එක් රැස් වු සමුළු දෙකකටම තමන්ට සහභාගී වන්නට නොහැකි වු තත්වයක  BRICS  සමුළුව රුසියාවේ සංවිධානය කරන ලද්දේ  අත පය දිග හැර’ ලොව පුරා සංචාරය කරන්නට නොහැකි වුවත් තමන්ටත් ප්‍රබල මිතුරන් සිටින බව ලොවට පෙන්වීමට පුටින්ට අවශ්‍ය වු බැවිනි.
කෙසේ හෝ BRICS සංවිධානය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. ඇමරිකාව නොරුස්සන මෙන්ම BRICS සංකල්පයේ ආර්ථික වාසි නිසා ආකර්ශනය වන රටවල්ද BRICS සමග එක් වන්නට තම කැමැත්ත වැඩි වැඩියෙන් පළ කරමින් සිටිති. තායිලන්තය, මැලේසියාව මෙන්ම නේටෝ සාමාජිකයෙකු වන තුර්කියද BRICS සමග එක් වන්නට කැමැත්ත නිල වශයෙන් පළ කර ඇත.
යුකරේන ආක්‍රමණය සිදු වී වැඩි කලක් ගත වන්නට කලින්ම මෙසේ ලොව රටවල් ගණනාවක්ම, ඇමරිකාව විසින් දුෂ්ටයෙකු’ යැයි හංවඩු ගසා ඇති හා රුසියාව ප්‍රබල නිර්මාතෘ සාමාජි්කයෙකුව සිටින BRICS සමග එක් වන්නට පෙළ ගැසීම ලෝක පොලිස්කාරයා’ වන එක්සත් ජනපදයට දරා ගන්නට නොහැකි වී ඇති බව නම් පැහැදිලිය.

මුලාශ්‍රය: අලප් ජසීරා