NEWSNOW|- ඔක්තෝබර් 04 වන දිනට යෙදුණු ලෝක සත්ව දිනය වෙනුවෙන් මෙම ලිපිය ගෙන එනු ලබයි.
සතූන්ට සැලකීමේ ආදර්ශය මුහම්මද් නබිතුමන් ලොවට පෙන්වූ ආකාරය.
1. නබිතුමන් ජීවිත කාලයහි ලැබූ විශාලතම ජය අත් කර ගෙන තමා උපන් හා හැදුනු වැඩුනු මක්කා නගරය වෙත දහස් ගණනින් වු සිය හමුදාව සමඟ යමින් සිටියෝය. එවිට පැටවුන් කිහිප දෙනෙකුව පසුත කර සිටි බැල්ලියක් දැක සුරකා නම් සිය සහයා අමතා හමුදාව මෙම බැල්ලිය සහ පැටවුන් පසු කර යන තෙක් සෙබලුන් ඔවුන්ව පාගා නොදමනු පිණිස මෙම සතුන්ට ආරක්ෂාව දෙමින් ඔබ මෙහි නවතින්න’ යැයි අණ කළහ.
පසුව එම සතුන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් හමුදාවේ මග මඳක් වෙනස් කරන මෙන් නබිතුමන් අණ කළහ. ඒ අනුව විජයග්රාහී හමුදාවක් බැල්ලියක් සහ උගේ පැටවුන් වෙනුවෙන් සිය ගමන් මාර්ගයද වෙනස් කළේය.

2. නබිතුමන් මෙසේ පැවසුහ. මුස්ලිම්වරුයෙකු ගසක් සිටවුවහොත් හෝ බීජයක් වැපිරුවහොත් එයින් මිනිසෙකු හෝ පක්ෂිකයෙකු හෝ සතෙකු ප්රයෝජන ලබන විට ඔහු කුසල් ලබන්නේය.

3. දිනක් නබිතුමන්, නිසි ලෙස ආහාර නොලැබීම නිසා අතිශය කෙට්ටු වු ඔටුවෙකු දැක එහි හිමිකරු අමතා ‘(මිනිසුන්ට) කථා කළ නොහැකි මෙම සතා විෂයයෙහි අල්ලාහ්ට බිය වන්න’ යැයි අවවාද කළහ.
4. අබ්බාස් (රලි) මෙසේ දන්වයි: දිනක් අප නබිතුමන් සමඟ යමින් සිටියෙමු. එවිට මිනිසෙකු ඔහු ඝාතනය කරන්නට සුදානම් කර තිබූ බැටළුවෙකු ඉදිරියේම සිය පිහිය මුවහත් කරමින් සිටියේය. එය දුටු නබිතුමින් ‘ඔබ එම සතා එක් වරකට වඩා ඝාතනය කරන්නට සිතන්නේද? යැයි සිය නොසතුට පළ කළහ.
5. නබිතුමන් සිය සගයන් සමග එක් තැනක වාඩි වී සිටියෝය. එවිට දුවගෙන ආ ඔටුවෙකු එතුමන් පසුපස සිට ගත්තේය. මඳ වේලාවකින් ඔටුවාගේ හිමිකරු එතැනට පැමිණ නබිතුමනි මෙම ඔටුවා අයිති මටය. මා මෙම ඔටුවා දින තුනක් පුරා සොයමින් සිටියෙමි’ යැයි කීවේය.
එවිට නබිතුමන් ‘ඔබගේ ඔටුවා ඔබ ගැන චෝදනා ගණනාවක්ම නගයි ‘ යැයි පැවසූහ. විමැතියට පත් හිමිකරු ඔටුවා කුමක් කියන්නේදැයි ඇසුවේය. එයට නබිතුමන් ‘තමාව ඇති දැඩි කළේ ඔබ යයි ඔටුවා පවසයි.
එමෙන්ම වසර ගණනාවක්ම ඔබ වෙනුවෙන් බර උසුලා ගෙන ගිය බවද එය පවසයි. තවද පැටවුන් ගණනාවක්ම එම ඔටුවා ප්රසූත කළ බවද පවසයි. දැන් ඔබ තමාව මාංශ වෙනුවෙන් මරා දමන්නට සිතන බවද එම ඔටුවා කියයි ‘ යනුවෙන් පැවසුහ.
එය ඇසූ ඔටුවාගේ හිමිකරු පුදුමයට පත්ව නබිතුමනි ඔබ නිවැරදිව සිදු වු සියල්ල පැවසුවේය” යයි පිළි ගත්තේය. පසුව යම් කිසි මුලක් දී එම ඔටුවා හිමිකරුගෙන් මිල දී ගත් නබිතුමන් ඔවුටා දෙස බලා ‘නුඹ දැන් නිදහස්ය. නුඹට කිසිවෙකුට දැන් හිරිහැරයක් කරන්නට බැරිය’ යැයි පවසා එම ඔටුවා යැවුහ.
