NEWSNOW | –
මුහම්මද් නබිතුමාගේ උපත සිහිපත් කෙරෙන මීලාදුන් නබි දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
එහි මෙසේ දැක්වේ.
“ශ්‍රී ලාංකේය මුස්ලිම් බැතිමත්හු ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ප්‍රජාව සමඟ සහෝදරත්වයෙන් යුතුව, මුහම්මද් නබිතුමාගේ අදට (16) යෙදී තිබෙන උපත සිහි ගැන්වෙන මීලාදුන් නබි දිනය සතුටින් සමරති.
අන් අය අතර විශ්වාසය ගොඩනඟාගත් මුහම්මද් නබිතුමා අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කල කැපකිරීම් අපිරිමිතය. අන්‍යෝන්‍ය අවබෝධය, සාධාරණත්වය, සහජීවනය සහ එකිනෙකාට වෛර නොකිරීම මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි.
අවංක මිනිසුන් ඉදිරියේ දෙවියන් නිරාවරණය වන අතර, එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු, උස් ස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය.
නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට සංවර්ධිත යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇතැයි මම විශ්වාස කරමි.
සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් හා අර්ථවත් මීලාදුන්-නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
උපුටාගැනීම අවසන්