සිව් දෙනෙකුට මරු කැඳවූ ගුවන් අනතුර

0
250

NEWSNOW | COLOMBO – අද හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගියේය.

ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි. 

මෙලෙස අනතුරට ලක්වූයේ ගුවන්හමුදාව විසින් වසර 33ක් තිස්සේ භාවිත කරමින් තිබූ පැරණි ගුවන් යානයක්. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතවුණේ හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

නිරීක්ෂණ චාරිකාවක නිරත වූ යානය හපුතලේ තම්බපිල්ල මාවත අයිස්පීල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වුණි. 

පෙරවරු 9.15 ට පමණ යානය අනතුරට ලක්වන විට එහි  ගුවන් නියමුවන් දෙදෙනකු සහ නිරීක්ෂකයින් දෙදෙනකු ගමන් කර තිබුණි.

අනතුරට ලක්වීමට තත්ත්පර කිහිපයකට පෙර වයි 12 යානය හපුතලේ තම්බපිල්ල ප්‍රදේශයේදී පහළට පැමිණෙන ආකාරය අසළ පිහිටි සී.සී.ටී.වී. කැමරාවක මෙම දර්ශන පටිගත වී තිබුණි. 

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, යානය අනතුරට ලක්ව ඇත්තේ, ගුවන් නිරීක්ෂණ කටයුත්තක නිරතවෙමින් සිටින විටදී බවයි. 

සිද්ධියෙන් ගුවන් නියමුවන් දෙදෙනකු සහ ගුවන් හමුදා නිරීක්ෂකයින් දෙදෙනකුට දිවි අහිමිවුණි. 

මියගොස් ඇත්තේ යානයේ ප්‍රධාන ගුවන් නියමු, බලඝන නායක බුද්ධි වීබැද්ද, සහායක නියමු බලපන්ති නායක ලංකාපුර කුලතුංග, නායක ගුවන් භට L.A.C. හෙට්ටිආරච්චි සහ සැරයන් DWRW කුමාර යන අයයි.

37 හැවිරිදි සැරයන් DWRW කුමාර තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි දෙදරු පියෙක්.

ඔහු වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිදුකරන අවසන් රාජකාරිය ලෙස අද සේවය සඳහා පිටව ගිය බවත් එළඹෙන 6 වනදා සිට වෙනත් කඳවුරක් වෙත අනියුක්ත කර ඇති බවත් පවුලේ ඥාතීන් පවසයි.

ඔහුගේ දියණිය පෙරපාසල වෙතත් පුතණුවන් පළමුවන ශ්‍රේණිය වෙතත් ඇතුළත් කිරීම සිදුව ඇත්තේද අද දිනයේදීයි.

මේ අතර මුරුතමුල්ල තෙලිජ්ජවිල පදිංචිව සිටි  30 හැවිරිදි  L.A.C. හෙට්ටිආරච්චිටද මෙම අනතුරින් සිය දිවි අහිමි වූ අතර ඔහුද විවාහක අයෙක්.

අනතුර සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය සහ ගුවන් හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එම ස්ථානය ගුවන් හමුදාවට අයත් යානයක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කෙරුණි.

අද පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා සහ රජයේ රස පරීක්ෂකවරුන් එම ස්ථානය පරීක්ෂා කළේය.

මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවුණි.

අද අනතුරට පත්වූ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන්නේ 1986 වර්ෂයේදී.

1982 වසරේදී චීනය විසින් නිෂ්පාදනය කරන ලද හර්බින් වයි 12 ගුවන් යානය මනාව සකස් නොකළ සහ කෙටි ගුවන් ධාවන පථවල භාවිත කළ හැකි යානයක්.

එය පසුගිය දශක කිහිපයේදී ගුවන් හමුදාව විසින් සෙබළුන් ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුහුණුවීම් කටයුතු, නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කළේය.

එමෙන්ම මෑතකදී සිදුකළ කෘත්‍රීම වැසි ඇතිකිරීම සඳහා ද වයි 12 ගුවන් යානය භාවිත කරනු ලැබුවේය.