13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය අදයි | මේ වනවිට ශ්‍රී ලංකාවට පදක්කම් 201ක්

0
356

NEWSNOW | COLOMBO – 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය අදයි.

ක්‍රීඩා උළෙලේ තරග පැවැති 8 වැනි දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවත් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙතෙක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වේ.

මීට පෙර 2016 වසරේදී පදක්කම් 186ක් හා 2006 වසරේ දී 178ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දියාව ‍රන් පදක්කම් 110ක්, රිදී පදක්කම් 69ක් හා ලෝකඩ පදක්කම් 35ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගෙන තිබෙන අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ සත්කාරක නේපාලයටයි.

ඔවුන් රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් හා ලෝකඩ පදක්කම් 65ක් දිනාගෙන තිබේ.

ක්‍රීඩා උළෙලේ අද දිනයේදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම සඳහා බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිත ය.