Breaking News

නුවන් ප්‍රදීප් කැන්ගරුවන් පන්දුවෙන් අසරණය කරලා (Video)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

පන්දු 73 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස්කළ ට්‍රැවිස් හෙඞ් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ඒරන් ෆින්ච් පන්දු 109 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 137 ක් රැස්කරමින් ඕස්ටේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

මෙම තරගයේදී පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කටයුතු කළ අතර එහිදී ලකණු 57 කට කඩුලු 3 ක් දවාගැනීමට නුවන් ප්‍රදීප්ද, ලකුණු 69 කට කඩුලු 2 ක් දවාගැනීමට ලක්ෂාන් සඳකැන්ද සමත් වූහ.

සිය ආබාධ තත්ත්වය සුව වීමෙන් අනතුරුව පළමු වරට එක්දින තරගයක් සඳහා සහභාගී වූ ලසිත් මාලිංග මෙම තරගයේදී ඕවර 8 ක් යැවූ අතර ලකුණු 32 ක් ලබාදෙමින් එහිදී ඔහුට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිවුස් පන්දු 106 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 95 ක් රැස්කළේය. එහෙත් මොයිසස් හෙන්රිකස්ගේ පන්දුවක් හමුවේ ඇඩම් සම්පා අතට උඩපන්දුවක් දීම නිසා ඔහුට ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනි ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය.

ලකුණු 92 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී චාමර කපුගෙදර (30) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැතිව්ස්, කපුගෙදරගේ දැවී යෑමෙන් අනතුරුව අසේල ගුණරත්න (නොදැවී 70) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව වේගවත් පිතිහරඹයක නිතර වූ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න (31) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 56 කදී වාර්තා වූ ගුණරත්නගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 19 කට මුහුණදුන් සීක්කුගේ සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් අලංකාර කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)